2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

එළියට යන්න බැහැ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 911

උතුරේ ප්‍රශ්නය ගැන පසුගියදාක මැතිසබා විවාදයක් තිබුණා. ඒකට උතුරු සන්ධාන කස්ටිය තමයි මුල් වුණේ.

විවාදය පටන් ගත්තට ඒකට මන්ත්‍රීවරුන්ගෙ කිසිම උනන්දුවක් තියෙන වගක් පෙනුණෙ නැහැ. හැමදාම ආණ්ඩුව අමාරුවෙ වැටුණම බේරගන්න එන්නෙ උතුරු සන්ධානෙ වුණත් මෙතෙන්දි ආණ්ඩුවෙ අයවත් කවුන්සිලේට ඇවිත් හිටියෙ නැතිලු.

ඒ නිසා විවාදය දියාරුවෙලා යද්දී දෙතුන් වතාවක්ම ඝනපූරණය නැතුව අවුලක් වුණා. කොහොම හරි විපක්ෂයෙ මන්ත්‍රීලා නොහිටින්න ඝනපූරණය නැතුව සභාව නවතිනවා...

මෙහෙම මේ විවාදය ඇදි ඇදී යද්දි ආණ්ඩු පක්ෂ පැත්තෙ වාඩිවෙලා හිටපු එකම එක ඇමැතිත් සභාවෙන් එළියට යන්න පිටත් වුණා කියමුකෝ.

මේක දැකපු උතුරු සන්ධානෙ නීතිඥ මන්ත්‍රීතුමකුට මල පැන්න. උන්නැහේ එකපාරටම නැගිටල එළියට යන ඇමැති තැන පස්සෙන් ගියා... ගිහිල්ල සභාවෙ මැති ඇමැතිල නැහැ. ඔහේ කොහේද යන්නෙ කියලා තරහින් ප්‍රශ්න කළා. දකුණු ලකේ අගනගරෙන් ආපු ස්වදේශ කටයුතු බලන ඇමැති තැන නෑ කොහේවත් නැහැ. මම කාමරේට යනව කියල උතුරු සන්ධානෙ නීතිඥ මන්ත්‍රීට උත්තර දුන්නා...

කාමරේට ගියාට කමක් නැහැ. එළියට එහෙම යනවා නෙවෙයි උතුරු සන්ධානෙ මන්ත්‍රී තැන අණ කරන ලීලාවෙන් කිව්වා. හොඳයි කියපු ඇමැති තැන කාමරේට රිංගුවා.