2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

එයා මළාද?

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 688

ඒකාබද්ධයෙ ජය කෙහෙළි නැංවූ ජ්‍යෙෂ්ඨයෙක් ඉන්නව... උන්නැහේ ගිය ආණ්ඩු ගණනක මැති ඇමැතිකම් කළ උඩරට පළාතෙන් ආපු කෙනෙක් කිව්වොත් නිවැරදියි...

ඉදිරි කාලෙ පොහොට්ටු ආණ්ඩුවක් ආවොත් තමන්ට විදේශීය කටයුතු වුණත් බලාගන්න පුළුවන් කියන මුන්නැහේ තරමක කතාකාරයෙක් හැටියටත් ප්‍රසිද්ධයි...

ඔන්න පසුගියදාක විජේරාමෙ තියෙන හිටපු ලොකු තැනගෙ නිල මැඳුරෙ වැඩකට මෙයා ආවා... එතකොටම ආසියාවෙ ලොකුවටම අලෙවි වෙන ප්‍රකට විදේශීය පුවත්පතක කතුවරයකුත් විජේරාමෙට ආවෙ හිටපු ලොකු තැන හමුවෙන්න.
ලොකු තැන ඇතුළෙ බිසී නිසා එයා එනකම් මේ දේශපාලුතුමයි අර විදේශ කතු තුමයි සාකච්ඡාවකට වැටිලා විදේශ තොරතුරැ ගැන කතාබහ පටන් ගත්ත.

ඔන්න අපේ දේශපාලුතුමා තමන් දන්න කියන විදේශීය ප්‍රබල චරිත ගැන කර්තෘතුමාට කියන්න ගත්ත. අහවලා මම හොඳට දන්නව. අහවලත් දන්නව.. අරයත් දන්නව මෙයත් දන්නව... කියමින් සිටින අතර මෙහෙමත් කිව්වා..

මිස්ටර් දන්නවද ඉන්දියාවෙ විදේශ ඇමැති සුෂ්මා ස්වරාජ් මගේ ඉතාම හොඳ හිතවත් කෙනෙක්. අපි බොහොම සුහදයි.. ඒක අහපු ගමන් පුදුමෙන් වගේ අපේ දේශපාලුතුමා දිහා බලාපු විදේශීය කතුවරයා..

තමුන්නාන්සෙ එයා හොඳට දන්නවා කීවනේ. දන්නවද අලුත්ම ප්‍රවෘත්තිය? කියල ඇහුවා.

මොකක්ද?

ගිය සුමානෙ සුෂ්මා ස්වරාජ් මළානේ.. දැන් අවසන් කටයුතු කරලත් ඉවරයි. ඔබතුමාලගෙ නායකතුමා ට්විටර් පණිවිඩේකින් ශෝකය පළ කරලත් තිබ්බා..

කතුවරයා එහෙම කියපු ගමන් අපේ දේශපාලුතුමා ආ ඇත්තද? එයා මළාද? කියලා අහන ගමන් තමන්ට තවත් වැඩක් ඇති බව කියා යන්න ගියාලු...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00