ආණ්ඩුවෙ ඉන්න බලවත්ම ඒ වගේම සල්ලි අතින් පොහොසත්ම ඇමැති කෙනෙක් පසුගියදා උතුරට ගියේ එහේ දේශපාලන හා ආර්ථික වැඩ වගයකට උදව් කරන්නලු.
ඒ ගමන උතුරු සන්ධානෙ තිරන් උන්නැහේලත් ඇවිල්ල හිටියා. මේ ඇමැතිතුමා උතුරට ගිහින් මංගල සම්මත වැඩ ගණනාවකට අත් පොත් තිබ්බා... ඊට පස්සේ යාපන නගරෙ කිට්ටුව ලොකු ජනහමුවකුත් තියලා ඉස්සරහට කරන්න යන වැඩ ගැනත් කතා කළා.... එතන රුස්වීමට නගරෙ පුරපති සයිස් උන්නැහේ කෙනෙකුත් ඇවිල්ලා හිටියලු...
ඇමැති තැන රැස්වීම කරගෙන යද්දි එයා ළඟට කිට්ටු වුණ පුරපති තැන කුටු කුටු ගාන්න වුණා. ඒ වෙලාවෙ ඇමැතිතුමා ඉදිරියේ එන මහ පුටු සටන ගැනත් ඒකට උතුරෙ සහයෝගය ලබාගැනීම සම්බන්ධවත් කතා කරන්න ගත්තලු. ඔය අල්ල පනල්ලෙ ටිකක් එහාට මෙහාට ඇඹරුණු පුරපති තැන සර් මටත් තියෙනවා පුංචි ඉල්ලීමක් කියල ඇමැතිට කීවා... ඒ මොකද්ද ඇමැති ඇහුවා.
සර් දැන් උතුරට මහ ඇමැති කෙනෙක් නැහැනේ* පුරපති තෙපර බාන්න ගත්ත.... ඉතින් ඔයාට ඒකට තරග කරන්න ඕනද? ඇමැති ආපහු ඇහුවා.
අපොයි නැහැ සර්... ඒක නෙවේ මගේ ඉල්ලීම. මහ ඇමැති කෙනෙක් නැති නිසා එයා පාවිච්චි කළ කාර් එක දැන් නිකම්නේ තියෙන්නෙ. අන්න ඒක මට දෙන්න සර්.
පුරපති කතාව කම්මුතු කරමින් කීවා. මහ ඇමැතිගෙ කාර් කතාව අහපු ඇමැති උඩ ගිහින් බිම වැටුණා... ඒක අහන් හිටපු තිරන් මන්ත්රීටත් මල පැන්නලු. කොහොම හරි අපි ඒව පස්සෙ බලමු කියල ඇමැතිතුමා ෂේප් වුණා කියලයි ආරංචි.