2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

දමනය කිරීම

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 610

අලි පාටියේ සමහර පසුපෙළ මන්තිරි උන්නැහේලව සනසන්න පසුගිය කාලෙ තෝරාගත්ත කස්ටියකට ආණ්ඩුවෙන් අමතර වාහන සැපයුවා... මෙහෙම අමතර වාහන පහසුකම දුන්නෙ පසුපෙළ ඉඳන් ගෝසා කරන අයගෙන් කිහිප දෙනකුටයි...

අලි පාටියෙ ලොකු මහත්තයම මැදිහත්වෙලා මේ මන්තිරිලා කිහිප දෙනකුට දුන්නෙ සුපිරි ජීප් රථලු. ඒවට ආණ්ඩුවෙන්ම ඉන්ධනත් ලබා දුන්නා...

මෙහෙම වාහන පහසුකම් ගත්ත පසුපෙළ අයගෙන් කිහිප දෙනෙක් අධීක්ෂණ මන්ත්‍රී පට්ටමුත් ගත්තා... ඒත් සමහරු නම් ඔය කිසිම දෙයක් ගත්තෙ නැතිලු...

කොහොමින් කොහොම හරි මෙහෙම පක්ෂයෙ ලොකු තැනගෙ කරැණාවෙන් වාහන අරව මේව ගත්ත කස්ටියගෙන් සමහරැ පසුගිය දවස්වල පටන් ගත්ත ජනාධිපති අපේක්ෂක සටනෙදි ලොකු තැනගෙ අණ නොතකා වැඩ කරන්න ගත්ත බවට චෝදනා එල්ල වුණා. මේ අයගෙන් ඇතැම් අය අධීක්ෂණ පට්ටම්වලිනුත් අස්වෙලා ඉස්සරහට තවත් නොයෙක් දේ කරන බව බොහොම සැරට කියන්න ගත්තා...

වැඩේ ටිකක් දුරදිග යන්න පටන් ගත්තම ආණ්ඩුවෙ කාර්ය මණ්ඩල ලොක්කා හැටියට ඉන්න නායක ඇමැතිතුමා රත්නපුරෙන් ආපු මේ වගේ කටකාරයකුට නියෝගයක් දුන්න වහාම ආණ්ඩුවෙන් දුන්න සුපිරි ජීප් රථය නැවත භාර දෙන්න කියලා... ඒ නියෝගය අනුව එයා රථය ගෙනල්ල භාර දුන්නා.. හැබැයි ඊට පස්සෙ එයා දැන් ඉන්නෙ කටට ප්ලාස්ටර් ගහගෙනලු.

එයා එක්කම ඝෝෂා කරපු ඌව පළාතෙ කටකාර සිරි මන්ත්‍රි තැන පසුගිය දවස්වල පීල්ල මාරු කරල ලොකු තැනගෙ ටිකිරි මොළේ වර්ණනා කරන්න ගත්තා... එයත් අපේක්ෂක අර්බුදේ ගැන කරපු කතා සේරමටම තිත තියල කියලයි ආරංචි.