2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

අපිට මේවා හොඳට පුරුදුයි!

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 1288

දියවන්නා කවුන්සිලේ විපක්ෂයෙ ඉන්න මන්ත්‍රිලා කස්ටියක් එයාලගෙ පවුල්වල අයත් එක්ක දියඇල්ලක නාන්න ගියා... මේ මැති ඇමැති කස්ටිය අතරේ හිටියෙ එකම පවුලකට සම්බන්ධ අය... එක්කෙනෙක් නාවලපිටියෙ මහී. අනෙකා ගම්පොළ අනුරාධ. එයාලගෙ නෝනලා දරුවොත් ඒ වගේ තවත් විශේෂ අමුත්තකු වන මේ පවුලෙ වැඩිහිටියා හැටියට ඉන්න හිටපු අගමැති දි:මු:ත් නඩේට එකතුවෙලා හිටියලු.

හිටපු අගමැතිතුමාට දැන් වයස අවුරුදු අනූ ගණනක් වෙන නිසා උන්නැහේ මේ අධික ශීතල වතුරට බස්සවන්නෙ නැතුව ජලාශ ඉවුරෙ විශේෂ ආසනයක් පනවල උන්නැහේ එතනින් වාඩි කරවල නිස්කලංකව ඉන්න සලස්වලයි මෙයාල දියඇල්ල යට තියෙන ජලාශෙට පැනල නාන්න ගියේ...

මේගොල්ලො දියබුං ගසමින් ජල ක්‍රීඩා කරමින් නාන දිහා ටික වේලාවක් බලන් හිටිය. හිටපු අගමැතිතුමා එකපාරටම නැගිට්ට. තමන් ඇඳගෙන හිටපු කමිසය ගලවලා ගලක් උඩට දැම්ම. ඊළඟට තමන් ඇඳගෙන සිටි සරම කැසපොට ගහගත්තා. ඊට පස්සෙ ජලාශෙ ඉවුර අද්දරට ඇවිත් කාටවත් නොකිය දඩෝං ගාල ජලාසෙට කඩාගෙන පැන්නා...

උන්නැහේ උඩින් පනිනකොට ජලාසෙ නනා හිටපු දුවල පුතාල මුණුපුරාල යටිගිරියෙන් කෑගැහුවෙ අඩි ගණනක් උඩ ඉඳල හිටපු වියපත් අගමැතිතුමා පැනපු පැනිල්ලෙ හැටියට මොකුත් තුවාලයක් කාරිය වේවිද කියල බයවෙලා. ඒත් වාසනාවට එහෙම මුකුත් වුණේ නැහැ.

උන්නැහේ ටික වෙලාවක් එහාට මෙහාට පීනල ගලක් උඩට නැගගත්තෙ අපිට මේව හොඳට පුරුදුයි කියාගෙනලු.

කොහොම හරි එතන හිටපු අය ලෝක අමාරුවෙන් එතුමාව නැවත ගොඩට ගෙනල්ල ගෙදරට කැඳවාගෙන ගියා. ඒත් එතුමා කරන මේ වගේ වැඩ නැවැත්තුවෙ නැහැ.

ඊට පහුවැනිද තමයි එතුමා ඉදලක් අරන් ගිහින් අම්බුලුවාවට යන පාර අතුගෑවෙ.