2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

හොරකමේ ගිය අපේක්ෂකතුමා?

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 908

කොත්මලේ පැත්තෙ සංචාරයකට ආපු සුදු මහත්තයෙකුත් සුදු නෝනා කෙනෙකුත් ඒ පළාතෙ තිබුණා ප්‍රසිද්ධ දිය ඇල්ලක් වන රම්බොඩ ඇල්ල බලන්න ගියා...

ඒ ඇල්ල බලන්න ගියපු මේ විදේශිකයො ජෝඩුවට මගපෙන්වන්නත් තරුණයෙක් ඇවිත් හිටියා.. ඉතින් මේ විදේශික දෙන්න ඉතා සුන්දර දිය ඇල්ලේ ලස්සන බලමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් ඉන්නකොට ඔවුන් දෙන්නා වෙත කඩාපැනපු මඟ පෙන්වන්න ආපු තරුණයා ඒ දෙන්නට සත්තමක් දාලා බිම වැටෙන්න තල්ලු කරලා දැම්මා. ඊට පස්සෙ මේ විදේශික යුවලගෙ අත තිබුණ බෑග් දෙකත් අරන් දුවලා ගිහිල්ලා හැංගුණා. ඒ බෑග් දෙකේ රැපියල් ලක්ෂ තුනකට කිට්ටුව සල්ලිත් වටිනා කැමරාත් තවත් වටින උපකරණ ගණනාවක් තිබුණා.

කොහොම හරි සුද්දා සහ සුද්දී පාර හොයාගෙන මහ පාරට ඇවිත් කොත්මලේ පොලිසියට මේක පැමිණිලි කළා. පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මකවෙලා ඒ පළාත වටලලා මේකට සම්බන්ධ තරුණයා සහ ඔහුගේ මල්ලිත් අල්ලා ගත්තා.. 
අල්ලගෙන පොලිසියට ගෙනල්ලා ඉස්සෙල්ලම ඒ තරැණයාගෙ නම ඇහුවා..

ඒ පාර මිනිහා ටිකක් අදිමදි කරල මගේ නම අහවලායයි කිව්වා.. පොලිස් නිලධාරිය නම අහලා තුෂ්නිම්භූතවෙලා ආයේම නම ඇහුවා.. මගේ නම ඕක තමයි. කියලා තරැණය කිව්වා..

ඊළඟට හැඳුනුම්පත් බැලුවා. නම නම් කියපු එක තමයි...

හැබැයි පොලිස් නිලධාරිය මේ නම පොලිස් පොතේ ලියන්න ටිකක් විචිකිච්ඡාවෙන් වගේ හිටියා.. ඒකට හේතුව තමයි මේ තරැණය කිව්ව නමත් මේ පාර ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයගෙ නමත් එකක් වීම..

ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අහවලා සුද්දන්ගෙ බඩු හොරකම් කළා කියලා පැමිණිල්ල ලිව්වා. නඩුව පළාතෙ උසාවියටත් දැම්මට පස්සෙ ඔය අපේක්ෂක නාම ධාරියා වරදත් පිළිගත්තා... දඬුවම් නියම කිරීම විනිසුරුතුමා පසුවට කල්තිබ්බා..