2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

අත පාටියේ අවුල

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 524

අත පාටියෙ උදවියට පොහොට්ටුවෙ සමහරුන්ගෙන් කෙරෙන අකටයුතුකම් ගැන උන්නැහේල ඉන්නෙ සතුටින් නෙවෙයිලු... මේ ගැන ප්‍රබල චරිත ගණනාවක්ම ප්‍රසිද්ධියේම අදහස් දක්වලත් තිබුණා. ඒ නිසා ඉදිරි මහ ඡන්දයේදි අත පාටියෙ අය තනියම ඉල්ලල පොහොට්ටුව එක්ක සන්ධානගතවීම තමයි හොඳම ක්‍රමය කියලා යෝජනාවක් ඇවිල්ලලු.

පුටුව ලකුණෙන් ඡන්දයට එන බව පොරොන්දුවෙලා දැන් පොහොට්ටුවෙන් යන්න හදනවය කියලා එයාලා කනස්සල්ලෙන් ඉන්නවලු. නමුත් පුටුව ලකුණ ගැන ඉස්තීරෙටම පොරොන්දුවක් නොදුන්න බවයි පොහොට්ටුවෙ ලොක්කො කියන්නෙ.. ඒ වගේම තමන්ගෙ පාටියට ලැබුණු තනතුරැ ගැනත් සතුටක් නැතිලු...

පාටියෙ ලොකු තැනගෙ පැත්තෙනුත් එන්නෙ තනිව තරග කරමු කියන යෝජනාවය කියල තතු දත් අය කියනව.. එහෙම කළොත් මන්ත්‍රී ආසන 12කට වැඩිය ගන්න පුළුවන් කියලත් කතාවෙලා තිබෙන බවයි ආරංචි...

ඒ විදියට මන්ත්‍රී පට්ටම් තමන්ගෙ පාටියට ගත්තොත් පාටියෙ ලොකු මහත්තයටත් ප්‍රබල තනතුරක් වෙනුවෙන් බලපෑම් කරන්න පුළුවන්ය කියලා අදහසකුත් මතුවෙලා. 

මේ කතාව යද්දි ඉදිරි මහ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව පොහොට්ටුවට විතරක් නෙවේ අලි පාටියට වුණත් අපේ දොර ඇරලා තියමු කියලා දෙතුන් දෙනෙක් කිව්වලු. ඒකට සමහරු විරුද්ධ වුණත් ප්‍රබල චරිත තුන හතරක් මතයක් ප්‍රකාශ නොකර හිටිය බවයි ආරංචි...

මේ කතාව ඉවර කරද්දි අත පාටියෙ ඌවෙ ප්‍රබලයෙක් කියල තියෙන්නෙ මහ ඡන්දෙදි අපි අලියයි පොහොට්ටුවයි අතරින් රිංගලා ගිහිල්ලා ඔය කියන කෙරැවාවල් කරන්න පුළුවන්ද කියන එක ගැන හොඳට හිතලා මතලා තීන්දුවක් ගන්න කියලලු.