අලි පාටියේ පැත්තකට වෙච්ච සජී තුමාල සමගියෙන් බලවේගයක් හැදුවා... ඒක රටට හඳුන්වා දෙන උත්සවේ නෙළුම් පොකුණෙ තමයි තිබ්බෙ...
තමන්ගෙ බලවේගෙත් එක්ක එකතු වෙන්න ආරාධනා ලබාපු සියලුම නායකයො එතෙන්ට ගෙන්නලා ඉහළ පිළිගැනීමක් දීලා අසුන්ගන්වල හිටියා. නමුත් මේ අය අතරෙ අලි පාටියෙ මහ පුටුවල හිටපු කිසිම කෙනෙක් ඉන්නවා දැක්කෙ නැහැ... අලුත් සන්ධානෙ අත්සන් කරන උත්සවේට සෑහෙන සෙනඟකුත් ඇවිත් හිටපු නිසා වැඩේ නැගලා යන්න වුණා...
සජී තුමාල එක්ක සන්ධාන ගතවෙන්න ආපු පක්ෂ නායකයො සේරම නම් කියමින් හඳුන්වා දීලා තමයි අත්සන් කරන්න වේදිකාවට කැඳෙව්වෙ. මුලින්ම ආවෙ රණවක තුමා. උන්නැහේ එනකොට හතර අතින් ජයවේවා ඝෝෂාව නැගුණා. ඊළඟට ආවෙ රවුෆ් උන්නැහේ. එයාටත් කට්ටිය ජයවේවා කියලා කිව්වා... ඊළඟට මනෝල ආවා. එතකොටත් ජයවේවා ජය ඝෝෂාව මතුවුණා. ඒ එක්කම ආපු පොඩි පක්ෂ ගණනාවකටත් ජය හඬ නැගුණා කියමුකෝ...
හැබැයි ටිකක් ලොකු එක්තරා පක්ෂයක නායකයෙක් එන බව කියලා එයාගෙ නම නිවේදනය කළා විතරයි.. කවුරැත් එයාට නම් ජය ඝෝෂා කළේ නැතිලු... හැමෝම නිහඬ වුණා. ඒ නිහඬ විරෝධය එතන මහ ඝෝෂාවක් වුණා කියලයි ආරංචි.
එදා උත්සවේදී තමන්ට ජය ඝෝෂා නොනැගීම ගැන විල්පත්තුව පැත්තෙ ඉඳන් ආපු පක්ෂ නායකයා දැන් ඉන්නෙ මාර අප්සෙට් එකේලු...