2020 මැයි 30 වන සෙනසුරාදා

ඡන්දෙට විරුද්ධ ඇත්ත හේතුව

2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00822

විපක්ෂයේ උදවිය ජූනි මාසෙ 20 මහ ඡන්දෙ තියන එකට දිගටම බාල්දි පෙරළන්න පටන් අරන්... සමහරු උසාවිත් ගිහිල්ලා කියන්නේ මේ දවසට නම් මේක කරන්න බැහැ කියලයි.. ආණ්ඩුව කොරෝනාව පාලනය කළා කියලා කොපමණ කිව්වත් විපක්ෂයට ජූනි 20 වහ කදුරැ වගේ අරහංලු....

හැබැයි මේ දිනයට ඡන්දය තියන්න නියම කළේ ආණ්ඩුව නෙවෙයි... ඡන්ද කොමිසම... එයාලා අප්‍රේල් 25 තියන්න තිබුණ ඡන්දේ කොරෝනාව හින්දා ජූනි 20ට කල් දැම්මේ උන්නැහේලගේ තීන්දුවකින්මයි...

කොරෝනාව පාලනය වෙලා කියලා සෞඛ්‍ය අංශ දිගින් දිගටම කියද්දිත් විපක්ෂය ඒක ඇහුණෙ නැහැ වගේ ඉඳගෙන ජූනි 20 නම් ඡන්දෙ තියන්න එපා කියලා හතරඅතේ කන්නලව් කරන්න පටන් අරන්... අන්තිමේදී මේක ආණ්ඩු පක්ෂයේ කස්ටිය අතරෙත් ලොකු කතාවක් බවට පත්වුණා. ආණ්ඩුවෙ ඉන්න ලොකු පොඩි චරිත විපක්ෂයේ ජූනි 20 විරෝධය ගැන කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරද්දි රටේ ලොකු මහත්තයා හිනා වෙවී ඒ කතාවලට සවන් දුන්නා...

අන්තිමේදී බැරිම තැන උන්නැහේ මේකෙ ඇත්ත කතාව ආණ්ඩුවේ මන්තිරිගොල්ලන්ට කියලා දුන්නේ මෙහෙමයි...

ඔය විපක්ෂයේ උදවිය ජූනි මාසෙ 20 දා ඡන්දය තියන එකට විරුද්ධ කොරෝනා ප්‍රශ්නයක් නිසා නෙවෙයි... එදාට මගේ උපන්දිනය යෙදිලා තියෙන හින්දයි... රටේ ලොකු මහත්තයා කවුරුත් නොදන්නා විපක්ෂ විරෝධයට ඇත්ත හේතුව පැහැදිලි කළා...

විපක්ෂය බයෙන් ඉන්නේ මගේ උපන්දිනේ දවසේ ඡන්දය තිබ්බොත් ඉහළම ජයග්‍රහණයක් ආණ්ඩුවට ලැබේවි කියලයි. මතකනේ 2005 නොවැම්බර් 18දා මහින්ද ජනාධිපතිතුමාගේ උපන්දිනේ දවසේ ඡන්දෙ තියලා එයාලට වෙච්ච දේ.. ඒ හින්දා ඔය ඇත්ත හේතුව කියන්නෙ නැතුව ඔය විකාර හේතු ඉදිරිපත් කරනවා... හැබැයි ඉතින් ඔය දිනේ නියම කළේ මම නෙවෙයිනේ.. ඒක හින්දා එයාලට මට බණින්න බැහැ. ඔන්න ඕකයි මේ ජූනි 20 විරෝධයේ සැඟවුණ කතාව. කියලා ලොකු මහත්තයා නැවතත් මහ හඬින් සිනාසුණා.