2020 ජුනි 13 වන සෙනසුරාදා

සැනිටයිසර්වලින් ගොඩයෑම

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 862

කොරෝනාවත් එක්ක අමුතු අමුතු දේවල් ගණනාවක් අපිට අත්‍යවශ්‍ය දේ හැටියට සලකන්න පටන්ගත්තා... විෂබීජ විනාශ කරන්න පාවිච්චි කරන (සැනිටයිසර්) වලට තිබෙන්නෙ ලොකු ඉල්ලුමක්. කොරෝනාවට කලින් නම් හුඟ දෙනෙක් මෙහෙම දෙයක් තියෙනවද නැද්ද කියලවත් දන්නෙ නැහැ. ඒත් දැන් ඒක හැම ගෙදරකම තිබෙන දෙයක් වෙලා...

මේ විදියට මාර්කට් එකේ (සැනිටයිසර්ව)ල ඉල්ලීම ඉහළ යනකොට, රටේ ඉන්න හුඟ දෙනෙක් (සැනිටයිසර්) බිස්නස් එකට බැස්සා. මෙයින් යමක්කමක් ඇති උදවිය (සැනිටයිසර්) හදන්නයි ට්‍රයි කළේ...

ඔය විෂබීජනාශකේ හදන්නෙ මත්පැන් හදන්න ගන්න එතනෝල් වලින්ලු. එතනෝල් නැතුව (සැනිටයිසර්) හදන්න වෙන විකල්පයක් නැහැ...  ඒ හින්ද එකපාරටම රටේ එතනෝල් ඉල්ලුම ඉහළ ගියා...

හැබැයි එතනෝල් යම් කෙනකුට ලබාගන්න පුළුවන් වෙන්නෙ ආණ්ඩුවෙ (පර්මිට්) එකක් තිබුණොත් විතරයි... ඔන්න ඒ පාර හිටු කියලා (සැනිටයිසර්) හදන්නය කියලා එතනෝල් පර්මිට් ඉල්ලලා ලියුම් එන්න පටන්ගත්තා.. ඒ පර්මිට් ඉල්ලීම්වලට එකපාර අවසර දීම ටිකක් සැකසහිත නිසා (පර්මිට්) දෙන බලධාරියා මේ ගැන කරුණු කාරණා විපරම් කරලා බැලුවා...

අන්තිමේදි ඇත්ත කතාව හෙළිවුණා. මෙහෙම (සැනිටයිසර්) හදන්න එතනෝල් ඉල්ලපු හුඟ දෙනෙක් සැනිටයිසර් ගැන අන්දෝ සංසාරයක් නොදන්න කසිප්පු මුදලාලිලලු.

(සැනිටයිසර්) මුවාවෙන් මෙයාලා එතනෝල් ඉල්ලුවෙ ගෙදර ඉඳන් ලාබෙට හැලි අරක්කු පෙරන්නලු... මේ අය අතරෙ සුප්‍රකට පොරවල් සහ දේශපාලන භවතුනුත් හිටියලු...

ඉතින් (එතනෝල්) බලපත්තර දෙන අයට සැනිටයිසර්වලට මේව ඉක්මනින් නිකුත් කරන්න කියලා ගොඩක් දේශපාලන බලපෑමුත් ආවා... ඒ වුණත් (සැනිටයිසර්) මුවාවෙන් කසිප්පු නිෂ්පාදනේට අතහිත දෙන්න බැරි නිසා බලපත්තර දෙන කන්තෝරුවෙ අයත් පොඩි (ජිමික්) එකක් දැම්මා..

ඒ අනුව (සැනිටයිසර්) සඳහා නිකුත් කරන එතනෝල්වලට විශේෂ රසායනික ද්‍රව්‍යයක් එකතු කරන්න තීන්දු කළා. ඒක එතනෝල්වලට දැම්මම කසිප්පු හදන්න බැහැ. (සැනිටයිසර්) හදන්න විතරයි පුළුවන්.

ඔන්න දැන් ඒ ක්‍රමේ අනුව එතනෝල් බලපත්තර ඉල්ලපු හැමෝටම දෙන්න තීන්දු කළා. අනේ ඊටපස්සෙ මේ සැනිටයිසර් හදන්න දතකාපු අයගෙන් සීයට දහයක්වත් එතනෝල් බලපත්තර ගන්න ආවෙ නැහැල්ලු...

ඔන්න ඔහොමයි (සැනිටයිසර්) මාර්ගයෙන් (කෂියා) මුදලාලිලා කප් ගහන්න හැදුවෙ. හැබැයි මොළේ තිබුණු නිලධාරි කිහිප දෙනෙක් නිසා වැඩේ හබක් වුණු වගයි පේන්නෙ...