2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

හිටපු ලොකු තැනගෙ පාඩම

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

යහපාලන ආණ්ඩුවෙ හිටපු ලොකු තැන පුලතිසිපුර ඒජන්ත කන්තෝරුවෙ ඡන්දෙ ගණිනකම් බලන් ඉන්නවා. උන්නැහෙත් එක්ක පළාතට ඡන්දෙ ඉල්ලන පක්ෂ විපක්ෂ අපේක්ෂකයොත් ඉන්නවා...

කස්ටිය සුහද කතාබහක යෙදෙමින් හිටියා. මධ්‍යම රාත්‍රී වෙනකොට වෙහෙස මහන්සියෙන් හිටපු සමහරැ නිදිකිරා වැටෙන්න ගත්තා...

ඒ අල්ල පනල්ලෙ ටැලිෆෝන් එකෙන් ඒ පළාතට ඉල්ලපු (පසුව ජයග්‍රහණය කරපු) අපේක්ෂකයෙක් හිටපු ලොකු තැනට කිට්ටු වුණා...

දෙගොල්ල පාටි දෙකක වුණත් පුලතිසිපුරේ පරණ දේශපාලන පවුල් නිසා ඇයි හොඳයිකමකුත් තිබ්බා... 

සර් සමහර විට මේ පාර මට දිනන්න පුළුවනි ටැලිෆෝන් අපේක්ෂකයා කිව්වා. %සුබ පැතුම්^ හිටපු ලොකු තැන කිව්වා...

ඒ වුණත් සර් මම දියවන්නා කවුන්සිලේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මොකද සර් මම එතෙන්ට ගිහිල්ල කරන්න ඕන... නැවතත් අපේක්ෂකයා කිව්වා.

ඉස්සෙල්ලම ගිහිල්ල ස්ථාවර නියෝගයි වරප්‍රසාදයි කටපාඩම් කර ගන්න. ඊළඟට අතන මෙතන රස්තියාදු නොවී පුස්තකාලෙට ගිහිල්ල පරණ වාර්තා කතා කියවන්න. හැමදාම සභාවට යන්න. කාරක සභාවලටත් යන්න. කවුන්සිලේ ඕනම පක්ෂයක ඉන්න ආචාර්ය මහාචාර්ය මන්ත්‍රීල ඇමැතිල හමුවෙලා කතා කරන්න කියල හිටපු ලොකු තැන කියාගෙන ගියා.

එතකොට සර් කතා කරනකොට?... අපේක්ෂකයා නැවතත් ප්‍රශ්න කළා.

ඔයා අලුත් මන්ත්‍රී කෙනෙක්. පළවැනි අවුරුදු දෙකේම ඔයාට වචනයක්වත් කතා කරන්න ඉඩක් ලැබෙන එකක් නැහැ... හැබැයි ඔයා ඔය මම කිව්ව ටික කරල දක්ෂයෙක් වුණොත් ඊටපස්සෙ කතා හම්බවෙනව හිටපු ලොකු තැන පාඩම හමාර කරමින් උපදෙස් දුන්නා.

අනේ සර් මට කවුරුවත් නොදුන්න උපදෙස් ටිකක් ඔබතුමා දුන්නෙ. බොහොම පින් සිද්ධ වෙනව... අපේක්ෂකයා කිව්වා.

ඇයි පක්ෂයෙන් උපදෙස් ලැබුණෙ නැද්ද? හිටපු ලොකු තැන අන්තිමට ඇහුවා.

මොන උපදෙස්ද සර්... මේක දිනාගත්ත එකටවත් ඉහළින් සුබ පැතුවෙ නැහැ අපේක්ෂකයා කිව්වා.