2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

හේතුව අහේතුව

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 599

පසුගියදාක ආණ්ඩුවෙ කොවිඩ් මර්දන වැඩ ගැන දියවන්නා කවුන්සිලේ ලොකු වාදයක් තිබුණා. ඒකට වරුවක් විතර වෙන්කරලත් තිබුණ බවයි අපට මතක.... විපක්ෂය මේකෙදි ආණ්ඩුවට බැටේ දෙන්න දත කට මැදගෙන ඉන්න බව ආරංචි වුණ නිසා ආණ්ඩුවත් ඒකට හොඳට සැට්වෙන්න තීන්දු කළා. ආණ්ඩුවෙ සුවපතිනියට තමයි මේ විවාදෙ වැඩි බරක් පැටවිලා තිබුණෙ...

ඒ පාර සංවිධායක කස්ටිය තීණ්දු කළා ආණ්ඩුවෙ ඉන්න දක්ෂ පක්ෂම කථිකයො සැට් එක මේකට දාන්න. එහෙම හිතල නම් ලැයිස්තුවක් සකස් කළා...

ඒක සකස් කරල කලින් දවසක කතා කරන මැති ඇමැතිගොල්ලට දැනුව. ඒ අනුව මේ වාදයේ ප්‍රධානම කතාවක් ආණ්ඩුව වෙනුවෙන් පැවරිලා තිබුණෙ නුවර පැත්තෙ එක්තරා කටකාරයෙකුට. අඹ ගහට පොලු ගහනව වගේ හැමදාම විපක්ෂයට නෙලන මේ ඇමැති සයිස් මහත්තයට කතාව භාරදුන්නම එයා ඒක භාරගත්තා.... හැබැයි ටිකක් ඈලි මෑලි ගතියෙන් තමයි එයා වැඩේ භාරගත්තෙ. කොහොම හරි ආණ්ඩුවෙ ඉහළම තැන්වලිනුත් එයාට කතා කරන්නය කියල දන්වලත් තිබුණලු....
නමුත් අවාසනාවකට වගේ විවාදය දවසෙ උදේ උන්නැහේ තමන් විවාදයට නොඑන බව ආණ්ඩු පක්ෂයේ ලොක්කෙකුට කිව්ව. හේතුව ඇහුවම කීවෙ “හදිස්සි වැඩක්” කියලයි. ඒ හදිස්සි වැඩේ පිට දාල උන්නැහේ විවාදය වර්ජනය කළා කියලයි ඊට පස්සෙ කතාව ගියේ.... 

ආණ්ඩුවෙ ලොකු වගකීමක් දරන මුන්නැහේ එහෙම කළේ ඇයිදැයි ප්‍රබලයෙක් සුවපතිනියගෙන් හේතුව ඇහුවම එයා කිව්වෙ “හේතුව අහේතුව” කියලයි. කොහොම නමුත් උඩරට පැත්තෙ “ආනන්ද” ජනක දේශපාලනයක් කරන මුන්නැහේ නැති අඩුව නම් විවාදයේදී කැපී පෙනුණා.