අහසට පොළොවට වගේම දේශපාලනය කරන මැතිඇමැති ගොල්ලටත් බණින එක අපි කාගෙත් විනෝදාංශය වෙලා... හැබැයි කතාව ඒක නෙවෙයි...
අද අපි කියන්න යන මේ ඇමැතිවරයත් පසුගිය දවස්වල පුවත් මවන්නෙක් බවට පත්වෙලා හිටියා. වහා ගිනි ඇවිලෙන සුළු දේවල් විකිණීම භාරව ඉන්න මුන්නැහේ හොඳ දේශපාලන ගායක් තිබෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේදී රටේ පළමුවැනියාට විභාගය පාස් කරල වාර්තා තියාපු සරල පුද්ගලෙයක්.
උන්නැහේ සරල පුද්ගලයෙක් කියල කියන්නෙ හේතුසාධක ඇතිවයි. තමන්ගේ බිරිඳ හා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පිටරටක රැඳී සිටින නිසා අපේ ඇමැතිතුමා ගෙදර ඉන්නෙ තනියම. නිවෙසේ ආරක්ෂාවට සෑහෙන පොලිස් නිලධාරීන් ගන්න පුළුවන් වුණත් එයා අරන් ඉන්නෙ එකම එක පොලිස් නිලධාරියලු.
රාජ ඌෂ්ණය සහිත කැබිනට් ඇමැති පට්ටමක් දැරුවත් මේ සරල ඇමැතිවරයා දිනපතා උදේ සහ රාත්‍රී තමන්ගෙ කෑමවේල උයා පිහාගන්නෙ තනිවම උන්නැහේ විසින්මලු. රෙදිපිළි සෝදා මැද ගැනීම කරන්නෙත් ඇමැතිතුමාමලු.
හුඟක් වෙලාවට දවල්ට මුන්නැහේ අමාත්‍යංශයේදී ළඟ කඩේකින් ගේන රුපියල් දෙසීයෙ කෑම පාර්සලයකින් වේල පිරිමසා ගැනීම එයාට සාමාන්‍ය දෙයක්. සල්ලි ගරන්න පුළුවන් විෂයක් භාරව හිටියත් තමන්ගෙ වැටුපෙන් ජීවත්වන මුන්නැහේ ගැන දැනගත් අපි එයාගෙ සරල චාම් දිවි පෛවත ගැන පුවත්පත් ලිපියක් සකස් කරන්න තැත් කළත් ලාභ ප්‍රචාරය මට එපා කියපු එතුමා අපේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා...
ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ හිටපු යූ.බී. වන්නිනායක මුදල් ඇමැතිතුමාගෙන් පස්සේ මේ විදියට ජීවත්වන ඇමැති කෙනෙක් ගැන අපි මේ ඇහුවමයි. ඒ නිසා උන්නැහේගෙන් නොඅසා මේ ගැන ලියා තැබුවෙ උන්නැහේගෙ නිහඬ සරල චාම්කමට හරසර පිණිසයි.