අත පාටියෙ මැයි දිනෙන් පස්සෙ ආණ්ඩුවෙ ඇමැතිකම් කරන ප්‍රබල චරිත දෙක තුනක් පොඩි සමාලෝචන කතාවකට වැටිල හිටිය... උඩරටින් ආපු ඇස්.බී. තුමා කොළඹ සුසිල්තුමා වයඹ අනුරතුමා ඇතුළු හත් අට දෙනෙක් මේ කතා සාප්පුවෙ සැට්වෙලා උන්න...
එතන හිටපු කස්ටියගෙ මාතෘකාව වුණේ ගෝල්ෆේස් පිට්ටෙනියෙ හිටපු සෙනඟ ගැන. ඔන්න ඒ ගැන විග්‍රහයක් කරපු උඩරට මිත්‍රයා තමන්ගෙ ළඟ හිටපු කොළඹින් ගිය (අයිය) කෙනකුට “අයියෙ ගෝල්ෆේස් එකට ඔය තරම් සෙනඟ එන්න හේතුව පසුගියදා අහවල් ඇමැති කරපු ඕන නැති කතාව නැත්ද මම අහන්නෙ...” කියලා කිව්වා...
“අම්මප අයියෙ මේ හාදයො අරැන්ට බණින එකවුණත් තැන නොතැන බලලා වෙලාව බලලා එපායැ කරන්න... නේද” කියල ආයෙම උඩරට යාළුව කියාගෙන යනකොට කොළඹින් ගිය ජ්‍යෙෂ්ඨය “ඔයා දන්නැති වුණාට අපි නම් දන්නව එයා කවුද කියලා”... හිනාවෙන්න පටන් ගත්ත.
“අම්මප අයියෙ මට අයිය කියන එක තේරෙන්නෙ නැහැ... ඇත්තටම කවුද ඔය හාදයා”... කියලා කුතුහලයෙන් ප්‍රශ්නයක් මතුකළා.
“කෙටියෙන්ම කිව්වොත් එයා අර ගම්පහ දිස්තිරික්කෙ අහවල් තරුණ මන්තිරිතුමාගෙ තාත්තා බව මතක තියාගන්න. ඒ ඇති...” කියාපු ජ්යෙෂ්ඨයත් හිනාවෙන්න ගත්තා.
“ආ ඔන්න අයියෙ දැන් තමයි මටත් තේරුණේ... අයිය කියන්නෙ ආම්ස්ට්‍රෝංග්ට කළින් හඳට ගිය හාදයා ගැනනේ...” කිව්වම කතා සාප්පුව හිනා සාප්පුවක් බවට පත්වුණා.