රටේ ලොකු තැන තෝරගන්න දියවන්නාව ඡන්දය තිබුණු දවසෙ ආණ්ඩුවෙ හිටපු පොහොට්ටුවෙ කස්ටියක් එළිපිටම උදව් කළේ ඩලස් අපේක්ෂකතුමාට...
හිටපු ලොකු තැන එක්ක ඉතාම ළඟින් සිටිය උන්නැහේගෙ කතා ලියන්න පවා උදව් කරපු තමන්ල වියත් මග නිර්මාතෘවරුන් යැයි කියාගත්ත ආචාර්ය මහාචාර්ය සයිස් උදවියත් අන්තිමේදි අහක බැලුව. මේ හැමෝම එහෙම කරන්න හේතුව හිටපු ලොකු තැන එයාලගෙ එක එක ජරමරවලට ඉඩ නොදුන්න නිසා කියලයි උන්නැහේට සමීපතම උදවිය කියන්නෙ...
කොහොම හරි රටේ ලොකු තැන තෝරාගැනීමේ ඡන්දයෙන් පස්සෙ එයාල උදව් කරපු කෙනා ලොකු පුටුවට ගියාම ඒ ආණ්ඩුවෙ ලොකු ලොකු තැන් බලාගෙනයි මේ ආචාර්ය මහාචාර්ය කස්ටිය හිටියෙ. කොහොම හරි එයාලගෙ මේ හීන බොඳ කරමින් රනිල් උන්නැහේ රජ පුටුවට පත් වුණා. ඊටපස්සෙ මේ ආචාර්ය මහාචාර්ය කස්ටියගෙන් දෙන්නෙක් හොඳටම කලබල වුණා.. තක්කු මුක්කු වුණා...
මේ දෙන්නගෙන් එක්කෙනෙක් බස්නාහිර පළාතෙ ගම්-පහක් තියෙන පැත්තකින් කවුන්සිලේට ආපු කෙනෙක්. අනෙක් එක්කෙනා රජ-රට පළාතෙන් ආපු දේශහිතෛෂී පින්වතෙක්...
ඉතින් මේ දෙන්නා මොකද කළේ දන්නවද.. මේ දවස්වල සිංගප්පූරු රටේ ඉන්න හිටපු ලොකු තැනට එකපාරටම කෝල් එකක් ගත්ත... එයාල පසුගිය කාලෙ උන්නැහේට දොස් පරොස් කියලා කතාබහත් නවත්තල තියෙද්දි මේ දුරකතන ඇමතුම ආවම හිටපු ලොකු තැන පුදුම වුණා..
කෝකටත් උන්නැහේ දුරකතනයට උත්තර දුන්න...
ඒ සංවාදය අපූරු කතාවක්.
''සර් කොහොමද?''
''හොඳින් ඉන්නව''
''දන්නවනේ සර් රනිල් ජනාධිපති තනතුරට තේරුණා.''
''ආ ඇත්තද?''
''සර් ඔය කවුරු කොතෙන්ට පත් වුණත් අපි නම් ඉන්නෙ ඔබතුමා එක්ක..''
''හැබෑට.. අහන්නත් සන්තෝෂයි''
''ඒක කියන්නයි සර් කතා කළේ. අපි දෙන්නම ඉන්නෙ සර් එක්ක පමණයි''
මේ ආචාර්යවරු දෙන්න එහෙම කිව්වම හීනියට හිනා වුණු හිටපු ලොකු තැන... ''මම නොදන්නවයැ ඔයාල ඉන්නෙ කොහේද කියල'' කියමින් දුරකතනය විසන්ධි කළේ ලැජ්ජ බය නැති මිනිස්සු ගැන අලුත් පාඩමක් ඉගෙන ගනිමින්.