2022 දෙසැම්බර් 11 වන ඉරිදා

දේශපාලන නාට්‍යයක්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 543

මේක අත පාටියෙ කතාවක්. එළියෙදි නයි පොළොං වෛරයක් පෙන්වන දේශපාලුතුමන්ල කිහිප දෙනෙක් රෑට රෑට හොරෙන් දුරකතන සබඳතා පවත්වන බව තතු දත් අය කියනව..

මේ විදිහට අතහැර දාල ගිය අය කිහිප දෙනෙක් එක්ක දුරකතනයෙන් රෑට රෑට දේශපාලන රහස් කතා කරන්නෙ අත පාටියෙ ලොකුම පුටුවට පැනගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ය කියලයි ආරංචි. උන්නැහේ දැනුත් පක්ෂයෙ ලොකුම පුටුවක වාඩිවෙලා පක්ෂයෙ ලොකු තැනට හිතවත්ව වගේ ඉන්නවලු.. පක්ෂය දාල ආණ්ඩුවට ගිය අය එක්ක දවල්ට මහා වාග් සංග්‍රාමවල පැටලෙනවලු.. 

ඒත් රෑට රෑට පක්ෂයෙන් ගිය අය එක්ක කතා කර කර කියන්නෙ "අහවලා එක්ක නම් පක්ෂය කරන්න බැහැ. ඒ ගැන අපි එකතුවෙලා පියවරක් ගනිමු" කියලලු..

ඉතින් පක්ෂය දාල ගිය අයත් මෙයා එක්ක ඔය ගැන කතාබස් කරනව. ඒත් මෙයා මේ කරන්නෙ ඇත්තක්ද නැත්නම් දේශපාලන නාට්‍යයක්ද කියල සමහරු සැකෙන් බලන්නත් පටන් අරන්ලු.

කොහොම නමුත් ඔය කියන බලවතා පක්ෂයෙ මහ පුටුවකට කුරුමානම් අල්ලන බව ප්‍රසිද්ධයි කියලයි තතු දත් අය කියන්නෙ.