2022 දෙසැම්බර් 11 වන ඉරිදා

මනමාලයා නැති මඟුලක්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 805

පොහොට්ටුවෙ පසුපෙළ කස්ටිය පසුගිය දවසක රාත්‍රී භෝජනයක් සූදානම් කළා... මේක තිබුණෙ දියවන්නා කවුන්සිලේ කිට්ටුව තිබෙන තරු පහේ හෝටලේකලු...

අයවැය අවසාන කාලෙ මැති ඇමැතිල මේ වගේ භෝජන සංග්‍රහය කරන එක සාමාන්‍ය දෙයක්. මේක ඒ අයගෙ දායකත්වයෙන් රජයේ මුදල් වැය නොකර සංවිධානය කළ සාදයක් කියලයි ආරංචි... මේකට ගොඩක් මහන්සි වුණේ ආණ්ඩුවෙ ලොකු තනතුරක් දරන ගම්පහ පැත්තෙ එක්තරා ප්‍රසන්න ඇමැති කෙනෙක්ලු. කොහොම හරි මේ සාදයට පක්ෂ ප්‍රබලයන්ට ආරාධනා කරල තිබුණත් සමහර අයට ආරාධනා කරලත් නැහැ කියල කියවුණා. මෙසේ ආරාධනා නොලබපු අය අතරෙ ගිරුවාපත්තුවෙ ඔටුන්න හිමි කුමාරයත් එක්කෙනෙක් බවයි තතු දත් අය කියන්නෙ.

කොහොම නමුත් සාදය නැගලම ගියා. රටේ ලොකු මහත්තය වගේම ගෝඨාභය උන්නැහෙත් මේ අවස්ථාවට පැමිණිලා හිටිය. ඒ වුණත් පොහොට්ටුවෙ ප්‍රබලම චරිත වන බී/ආර් සහ පක්ෂ නායක එම්/ආර් මේ සාදයට සහභාගි නොවීම කාටත් ලොකු ප්‍රශ්නයක් වුණා. ඔටුන්න හිමි කුමාරයට සාදය පැවැත්වෙද්දි දුරකතන ඇමතුමක් මගින් සංවිධායකයො ඇරයුම් කළාලු. ඒත් එයා ඒ ඇරුයුම ප්‍රතික්ෂේප කළ බවයි එයාගෙ පැත්තෙ අය කියන්නෙ. 

ඉතින් මේ දේශපාලන සාදය පක්ෂයේ ප්‍රබලයන් වර්ජනය කිරීමට ඇත්ත හේතුව අප්‍රකටයි... ඒ වුණත් සමහරු කියන්නෙ මේ තර්ජනය අප්‍රසාදය දැක්වීමක් බවයි. තවත් අය කියන්නෙ මේ වර්ජනය තර්ජනයක් බවයි.