2023 ජුනි 04 වන ඉරිදා

මහ පුටුවට නඩු

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 520

කාකි සූට් අඳින ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක ලොකු පුටුවට පත්වෙන්න කිහිප දෙනෙක් දත කනවලු.. ඒ අය අතරිනුත් එක්කෙනෙක් දේශපාලන හයියක් ඇතුව සටනකුත් දියත් කරල තිබෙනවලු. මේ මාසෙ අන්තිමට ඔය කියන දෙපාර්තමේන්තුවෙ මහ පුටුව පුරප්පාඩු වෙන්න පුළුවන් කියන අනුමානෙන් තමයි මේ දක්වා සියලු වැඩ කටයුතු සිද්ධ වුණේ.

නමුත් හදිසියෙ ආපු ආරංචියකින් කියැවුණේ දැනට ඒ පුටුවෙ ඉන්න මහත්තයට සේවා දීර්ඝයක් දීල තවත් කලක් රස්සාව කරන්න ඉඩ දෙන්න රටේ ඉහළම කන්තෝරුව තීරණයක් අරන් කියලයි.

ඒකට හේතුව ඔය ආයතනයෙ දෙවැනි තුන්වැනි තනතුරැවල ඉන්න අයට තිබෙන බරපතළ නීතිමය ප්‍රශ්න කියලයි ආරංචි.
කොහොම නමුත් මහ පුටුවට ඉව අල්ලපු එක්තරා මහත්තයෙක් මේ තීරණය ගැන කෝපයට පත්වෙලා ආණ්ඩුවෙ තීන්දු ගන්න අයට විරුද්ධව මහ උසාවියෙ නඩු පවරන්න තීරණයක් අරන්ලු. ඒ සඳහා උන්නැහේ දැන් නීතිඥ මහත්තුරු පස්සෙ යමින් ඉන්නවලු...

කොහොම හරි මේ මාසෙ අන්තිමේදි ආණ්ඩුව ගන්න තීන්දුව අනුව මුන්නැහේ නඩුව පවරනව පවරනව පවරනවමයි කියලලු කියන්නෙ. ඒක මේ රටේ ඉතිහාසෙ ඔය දෙපාර්තමේන්තුවෙ මහ පුටුව ඉල්ලල දාන පළමුවැනි නඩුව කියල තතු දත් අය කියනව.