2023 ජුනි 17 වන සෙනසුරාදා

මඟුල් ගෙදර කතා

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 947

මේ ළඟදී කොළඹ පැත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ දුවෙක්ගේ විවාහ උත්සවයක් තිබ්බා කොළඹ ලොකු හෝටලයක. ඒකට රටේ ලොකු තැන වගේම ඉන්න, හිටපු දේශපාලඥයෝ ලොකු ලොක්කෝ ගොඩක් ආවා. එතන මරු මරු සිද්ධි ටිකක් වුණාලු.

ගැමුණු වගේ හිටිය කෙනෙක් මේ විවාහයට ඇවිල්ලා මේසයක් මේසයක් ගාණේ ගිහින් කතා කරලා පරණ සම්බන්ධතා අලුත් කරගන්න හැදුවට හරි ගියේ නෑලු. වැඩිය කවුරුත් ගණන් ගත්තේ නැති නිසා මෙයා කාටත් හොරා එතනින් මාරු වුණාලු.

ඒ වගේමලු ආරක්ෂක අංශයේ ජනප්‍රිය ලොක්කෙකුත් නෝනත් එක්ක ඇවිල්ලා හිටියට කිසිම ලොකු ප්‍රතිචාරයක් නැති නිසා අන්‍තිමේ නොකාම යන්න පිටත් වුණාලු.

මේ අතර හොඳම සිද්ධිය වුණේ ඊළඟ ජනපති සිහිනේ ඉන්න ව්‍යාපාරික ලොක්කෙකුත් ආවලු. ඇවිල්ලා එයා රටේ ලොකු තැන ඉන්න තැනට ඇවිල්ලා කතාවට වැටුනලු. විහිළු තහලු කර කර ඉන්න ගමන් එතන ඉස්සරහ දොරෙන් පොහොට්ටුවේ හිටපු ලොකු තැන ආරක්ෂක අංශයත් එක්ක ඇතුළු වුණාලු. මේක අරයා දැක්ක ගමන් හිමිහිට එතනින් මාරු වුණා. කොහොම වුණත් එයා වාඩිවෙලා හිටියෙත් හිටපු ලොකු තැනට අයිති පුටුවෙලු.