ආයෙත් කොටු පනින සෙල්ලම පටන් අරන් වගේ පේනව. හැබැයි මේ කොටුපැනිල්ල දේශපාලන කොටුපැනිල්ලක්. ඒ අනුව සමහරු අද මෙතන හෙට අතන ඉන්න සයිස් එකක් තමයි පේන්න තියෙන්නෙ.
පසුගිය කාලෙ පොහොට්ටු සන්ධානෙ කඩාගෙන ගිහිල්ල අලුත් පෙරමුණු පක්ෂ හා සංවිධාන ගණනක් හැදුණා. ඒත් ඒ සමහර සංවිධාන දැනටමත් සුන්බුන් වෙලාය කියල ආරංචියි.... ඉතින් ඒ නිසා පක්ෂ කඩාගෙන ගිය සමහරු මුල් පක්ෂවලට එක්වෙන්නත් තවත් සමහරු ස්වාධීන වෙන්නත් - තවත් අය ප්රධාන විපක්ෂයට සැට්වෙන්නත් තීන්දු කරලලු.
අපිට තිබෙන තොරතුරුවල හැටියට පොහොට්ටුවෙ ඉඳල කරණමක් ගහපු ආචාර්ය හා මහාචාර්ය දෙන්නෙක් ආපසු පොහොට්ටුවටම සැට්වෙන්න කතාවක් දමන බව කියැවෙනව... මේ දෙන්නට අමතරව උඩරට පළාතෙන් ආපු නීතිඥ මන්ත්රීවරයකුත් පොහොට්ටුවට ඉව අල්ලන්න පටන් අරන්ලු...
ගෝඨා ආණ්ඩුවෙ හිටපු පැරණිම මන්ත්රීවරයකු වගේම විප්ලවීය නායකයකු කොහේවත් නොගිහින් ස්වාධීනව ඉන්න තීන්දු කළාලු. ඊළඟට පොහොට්ටුවෙ මහපුටුවෙ වාඩිවෙලා ඉඳල එතනින් ඉවත් කරපු විද්වත් දේශපාලකතුමා මේ පාර ටැලිෆෝන් පාටියට සැට්වෙන්න සියලු කටයුතු කරල හමාරයිලු...
ඉතින් ඔන්න ඔය විදියට ගෝඨාභය ආණ්ඩුවෙන් ගිය උදවිය නොයෙක් විදියට කොටු පනින නිසා තවත් පිරිසක් ටැලිෆෝන් පාටිය සමග පක්ෂයක් හැටියට සන්ධානගත වෙන්න කතාකරගෙන යනවලු. ඒ කතාබහත් සාර්ථක බවයි කියැවෙන්නෙ.