2023 ජුලි 15 වන සෙනසුරාදා

පාවෙන ඇමැතිලා

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 684

ආණ්ඩුවෙ ඉන්න තරුණ ඇමැතිවරු දෙන්නෙක් ඉන්නෙ ලොකුම කලකිරීමකලු. ඒ නිසා මේ දෙන්නම වැඩිපුර ඉන්නෙත් රටලු. මැතිසබයට එන්නෙත් කලාතුරකින් බවයි ආරංචි. පසුගියදා තිබුණ වැදගත්ම පනතකට ඡන්දය දෙන්න මේ දෙන්නම ආවෙ නැති බවත් කියැවෙනව.

මෙයින් එක් කෙනෙකුට ඊයෙ පෙරේදා ඇමැති ගොල්ලන්ගෙ හමුවෙදි ලොකු තැන හයියෙන්ම කෑගැහුව බව ආරංචියි. ඒකට හේතුව මෙයා තමන්ගෙ විෂය සෙල්ලමකට අරන් අවුල් කරගෙන ඉන්න නිසාලු. උන්නැහේ මේ හින්ද තවත් දුර්මුඛවෙලා ඊයේ පෙරේදා ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨ කස්ටිය එක්ක තමන්ට වෙච්ච දේ කියල දුක්වණාලු...

ඒ වගේම අවුලෙන් ඉන්න අනිත් ඇමැති තැන පසුගිය කාලෙ රටේ ලොකු තැනගෙ දෑත් ශක්තිමත් කරන්න විපක්ෂය පැත්තෙන් ආපු කෙනෙක් බවත් තිබෙන කලකිරීම නිසා එයා දැන් සංචාරකයෙක් වගේ ලෝකෙ පුරා ඇවිදින බවත් කියනව. ඇමැති රැස්වීම්වලට එන්නෙත් ඉඳහිටලු... එයාගෙ විෂයයට අයිති ඉඩකඩම් බෙදිල්ල පිළිබඳ ආරවුලක් නිසාලු උන්නැහේ මේ විදියට සේරොගෙන්ම කර ඇරල ඉන්නෙ. මේ දෙන්න ගැන දන්න කියන ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමන්ල දැන් මෙයාලා හඳුන්වන්නෙ පාවෙන ඇමැතිල කියලලු.