2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සීතල යුද්ධයක්

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 586

ආණ්ඩුව ඇතුළෙ සීතල යුද්ධයක් පටන් අරන්ලු. ඇමැති පට්ටම් දරන එහෙත් සාමාන්‍ය මන්ත්‍රීන්ගේ ඉල්ලීම් හා වුවමනා එපාකම් ගැන අහන්නෙ බලන්නෙ නැති ඇමැති ගොල්ලට යස පාඩමක් උගන්වන්න ආණ්ඩු පක්ෂයට මන්තිරි පිරිසකගෙ සූදානමක් තිබෙන බවට ආරංචියක් යනව...

මේ ඇමැතිවරුන් මට්ටු කිරීමේ වැඩසටහනේ පළමු පියවර පසුගියදා රහසින් අත්හදා බැලූ බවත් ආරංචියි.... ඒ අනුව පසුගිය සතියෙ මුහුදට හා අහසට සම්බන්ධව කටයුතු කරන එක්තරා අමාත්‍යංශයක පනතක් පරද්දන්න ආණ්ඩුවෙ ඉහළ පිරිසක් තීන්දුවක් ගත්තලු...

එහෙම තීන්දු කරල ඔය කියන අමාත්‍යංශයට අදාළ පනතක් විවාද කරනකොට මේ පිරිස මැතිසබේ වර්ජනය කළ බවයි ආරංචි. ඉතින් මේ ගැන කලබල වුණ විෂයභාර ඇමැති තැන හතර අතට දුරකතන ඇමතුම් දීල මන්ත්‍රීවරු ගෙන්න ගන්න ලොකු සටනක් දියත් කළාලු...

ඒත් එයාගෙ ඉල්ලීමට සභ රැස්වීමට ආවෙ මන්ත්‍රීවරු 40ක් විතර බවයි කියැවෙන්නෙ... ඒ වෙලාවෙ ඊට වැඩි මන්ත්‍රී පිරිසක් විපක්ෂයෙ හිටිය බවත් ආරංචියි... ඒත් ඇමැතිතැනගෙ වෙලාවෙ හොඳකමට විපක්ෂය මේ පනත සම්මත කරගන්න ඡන්දයක් ඉල්ලා සිටියෙ නැහැ... ඒ නිසා අර ඇමැති තැන බේරුනාලු...

කොහොම නමුත් ඊළඟට එන අයවැය විවාදෙදි නම් අපි මෙයාට විතරක් නෙවෙයි තවත් තුන් දෙනකුට පාඩම් උගන්වනව කියල මේ වැඩේට බැහැල ඉන්න මන්තිරිගොල්ල කියනව. මන්තිරි ගොල්ල නෙළුම් මාවත පැත්තෙන් එන අය බවයි වැඩිදුරටත් කියැවෙන්නෙ.