2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කූල්ගෙ විරෝධය

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 678

මැතිසබයේ ලොකු ආන්දෝලනයකට හේතුවුණු ''වැට්'' පනත මුල් දවසෙ ගණ පූරණය නැතිව කල්දාන්න සිද්ධ වුණා. ආණ්ඩුවෙ ඉහළම ලොක්කො වගේම විපක්ෂයෙ පොරවලුත් එදා සභාවට ඇවිල්ල හිටියෙ නැති නිසයි වැඩ එහෙම වුණේ. ඒත් පසුදා මේ පනත අරන් විවාද කරල සම්මත කරගන්න ආණ්ඩුව තීන්දු කළා.

එතෙන්දි විපක්ෂය විවාදයක් ඉල්ලල කෑගහන්න පටන් ගත්ත... ඒත් ආණ්ඩුවෙ සමහර ලොක්කො ඒකට කොහොමවත් කැමති වුණේ නැහැ... විශේෂයෙන් කලින් දවසෙ විපක්ෂයෙ ගණ පූරණය නැති කළ එකට රිටර්න් එක දෙන්නම ඕන කියල ගම්පහ පැත්තෙ රණකාමී නායකයා කියද්දී ආණ්ඩු පක්ෂයේ ඉන්න ''කූල්'' ඇමැතිතුමා ඒකට තදින්ම විරුද්ධ වුණාලු. උන්නැහේ සභාවෙත් නායකය නිසා එයාගෙ මතය බොහොම ප්‍රබල ලෙස කිව්ව.

ප්‍රජාතන්ත්‍රවාදෙ හැටියට විපක්සයට විවාදයක් නොදී මේ වගේ පනතක් සම්මත කිරීම වැරදියි කියලයි එයා තදින්ම කිව්වෙ... අන්තිමේදී මේක ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ලොකු වාග් සටනක් බවට පත්වෙද්දී... කූල් ඇමැතිතුමාට රටේ ලොකුම මහත්තයෙක් කතා කරල වහාම පනත සම්මත කරගන්න කියල නියම කළාලු... ඊටපස්සෙයි විපක්ෂය ඉල්ලූ විවාදය නැතුව වැට් පනත පාස් කළේ.