දියවන්නා කවුන්සිලයේ පිහිටුවල තියෙන එක්තරා කමිටුවක ප්රධානියා පත්වෙලා ඉන්නෙ විපක්ෂයෙන්. විපක්ෂයෙන් කියන්නේ ටැලිපෝන් පාටියෙන් කිව්වොත් ඒක හරි.
මුන්නැහේ ටැලිපෝන් සාමාජිකයෙක් වන විපක්ෂයේ ලොකුම පුටුව දරන මහත්තයට කමිටු රැස්වීම්වලදී එයාගේම පක්ෂයෙන් පත්වුණු සභාපතිතුමා කතා කරන්න දෙන්නෙ නැහැ කියලා පැමිණිල්ලක් ඇවිල්ලා.
මේ පැමිණිල්ල කළේ දියවන්නාවෙ ලොක්කගෙ ප්රධානත්වයෙන් රැස්වන බිස්නස් කොමිටියෙදිලු. පැමිණිල්ල කළේ විපක්ෂයේ ඉන්න ප්රධානම සංවිධායක මහත්තයෙක් කියලා තතු දත් අය කියනවා.
මේ පැමිණිල්ල ආවාම දියවන්නාවෙ ලොක්ක කිව්වා ''මේක ඔයාල පක්ෂයේ ඇතුළේ බේරගන්න'' කියලා.
එතකොට විපක්ෂයේ කස්ටිය කියලා තියෙන්නෙ ''එයා ඔය තනතුරට පත් කළේ අපි නෙවෙයි ආණ්ඩුව'' කියලයි.
ඒ නිසාලු තමන්ගෙ ලොක්කට ඔහොම කරන්නෙ.
ඒ කතාව අහපු එතැන රැස්වීමෙ හිටපු අය පුදුමයට පත්වුණු බවයි කියැවෙන්නෙ.