2017 ජුනි 24 වන සෙනසුරාදා

තෝරාගැනිල්ල

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

ආණ්ඩුවට ආදායම හොයන ලොකුම රාජ්‍ය ආයතනෙ මහ පුටුව පුරප්පාඩු වුණා. ඔන්න ඒකට සුදුස්සෙක් තෝරන්න ඉන්ටර්විව් එකක් තිබ්බා කියමුකො. ඒක කළේ මේ රටේ ලොකුම ලේකම්ලා දෙන්නෙක් විසින්ලු.

මේ පරීක්ෂණයට අයදුම් කරපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියාගේ හා නිලධාරිනියගේ සුදුසුකම් උන්නැහේල පරීක්ෂා කළා. ආරංචි විදියට මේ තනතුරට වැඩිපුරම සුදුසුකම් තිබුණෙ කළිනුත් ඔය මහ පුටුවෙ වැඩ බලපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියට කියලා තතු දත් අය කියනවා... නමුත් පරීක්ෂණය කළ මහ ලේකම්ලා දෙන්නා තනතුරට තෝරාගත්තෙ අනෙක් කෙනාලු... ඒකට හේතුව හැටියට උන්නැහේලා දෙන්න කියලා තියෙන්නෙ පසුගිය රෙජීමය එක්ක ළඟ සම්බන්ධකම් තියන අයට මේ වගේ පට්ටම් දෙන්න බැහැ කියන උත්තරයලු.

මේ උත්තරේ තතු දත් අයට දෙකොනින් හිනා යන පිළිතුරක් බව ඔය දෙපාර්තමේන්තුවෙ අය කියනවා... ඒකට හේතුව පසුගිය රෙජීමය කාලෙ බැහැලම දේසපාලනේ කරපු මේ ලේකම් සයිස් දෙන්න ඡන්දෙ දවසෙ රාත්තිරි 2.30 වෙනකම් හිටපු ලොක්කගෙ මැඳුරෙ උන්නැහේ දිනනකම් බලා ඉඳල වැඩේ වකූරු වෙනකොට හදිසි බඩේ අමාරැවකට කෝපි බීල එන්නම් කියල ගිය ගමන් ආණ්ඩුවට ගොඩවෙලා ලොකු පට්ටම්වලට කරගහපු නිසාලු. මෙහෙව් අයටත් ශිල්ප සෑදේ කියල පුරාණ කියමනක් තියෙන්නෙ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්නලු.