2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

රැවැට්ටුවලු

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 2421

පසුගිය දවසක රජරට පළාතෙ සුපිරි හෝටලයක පොඩි මත්පැන් සාදයක් තිබුණා. මේ ආණ්ඩුවෙ පක්ෂ මාරු කළ ඇමැති සයිස් මහත්තයෙක් එතැනදි පදමට වැදිල ලොකු ගෝරනාඩුවක් දැම්මලු...

ඒ ගෝරනාඩුව දැම්මෙ මේ ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ට කියලයි ආරංචිය.

“මේගොල්ලො පොරොන්දු කැඩුව. කෝ මට දෙනවය කියල පොරොන්දු වුණ ඉඩමවත් තවම දුන්නෙ නැහැ...” කියමින් උන්නැහේ බැණ වදිනකොට ළඟ හිටපු තවත් ප්‍රාදේශීය දේශපාලුවෙක් ඇහුව “මොකක්ද සර් ඔය ඉඩම් හුටපටේ...” කියලා.
එතකොට එයා කතාව කිව්ව. “මම අපේ මහ ගෙදරින් එද්දි කිව්ව මට අහවල් පළාතෙන් ඉඩං අක්කර මෙච්චර දෙනව කියල. (අක්කර සිය ගණනක ගාණද ඔහු සඳහන් කළේය.) ඒක මම ඉල්ලුවෙ ‘සෝලා’ ව්‍යාපෘතියකට. ඉතින් ඒක දෙනවය කිව්ව හින්දයි මම පැත්ත මාරු කළේ. ඒ වුණාට දැන් ඒ ගැන අහන්න කතා කරනකොට මෙයාල ටෙලිෆෝන් එකට උත්තර දෙන්නවත් එන්නෙ නැහැ. ඔන්න ඕකයි මට වුණේ. මුං මාව රැවැට්ටුව.. අර රත්තරන් මනුස්සයත් මට නැති කළා...” කියමින් මේ රජරට හඳ වගේ ඉන්න ඇමැති තැන තමන්ගෙ අවනඩුව කියලා දැම්ම.