2017 ජුලි 01 වන සෙනසුරාදා

උඩින් ගමන් බැහැ

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 450

පුත්තලං දිසාවෙන් පත්වුණ ආණ්ඩුවෙ උප ඇමැති මහත්තයෙක් විදේශ රටක ඉන්න තමන්ගෙ හිතමිතුරන් පිරිසක් එක්ක මඩකලපුව පැත්තෙ ධනවත් මිතුරකුගෙ නිවසේ තිබෙන මංගල උත්සවයකට යන්න ප්ලෑන් කළා...

ඒ ගමන ඉක්මනට ගත්ත ඕන නිසා කොළඹ ඉඳන් මඩකලපුවට ගුවන් හමුදා යානයක් කුලියට අරගෙන ගමන් කරන්නයි සැලැසුම් කළේ. ඒ අනුව ගුවන් යානයට අවශ්‍ය ගාස්තු මුලින්ම ගෙව්වා... ඊළඟට යානාව ගමනට වෙන් කළා. ඊට පස්සෙ ගමනට දවසකට දෙකකට කලින් යානයෙ ගමන් කරන අයගෙ නම් ලැයිස්තුව ගුවන් හමුදා කස්ටියට ලබාදුන්නා...ඒ නම් ලැයිස්තුවෙ උඩින්ම දාල තිබුණෙ පුත්තලං පැත්තෙ උප ඇමැතිගෙ නම. ඒ නම් ලැයිස්තුව ගන්න හමුදා කස්ටිය ටික වෙලාවකින් උප ඇමැති තැනට කතා කරලා කිව්ව යානාවෙ ගමන කරන්න බැහැ කැන්සල් කරන්නයි වෙන්නෙ කියලා.

ගමනට සේරම සූදානම් වෙලා හිටපු උප ඇමැතිතුමයි විදේශ අමුත්තොයි කලබල වෙලා ඒකට හේතුව ඇහුව. ඒත් කවුරුවත් නිල වශයෙන් නම් හේතුව කිව්වෙ නැහැ. නමුත් ගුවන් හමුදාවෙ ඉහළ මට්ටමේ කෙනෙක් යාළුකමට උප ඇමැතිට කිව්වලු ගමන යන අයගෙ නම් ලැයිස්තුවෙන් ඔබතුමාගෙ නම අයින් කරල එවන්න එතකොට වැඩේ කෙරේවි කියලා.

මේ උත්තරෙන් අන්ද මන්ද වුණ උප ඇමැති තැන &මේක නිකම් යන ගමනක් නෙවෙයි අපි සල්ලිත් ගෙවලයි යානාව වෙන් කළේ කියලා පොඩි දොස්මුරයක් දැම්මලු. ඒත් වැඩේ කෙරැණෙ නැහැ. අන්තිමේදි උප ඇමැති තැන ඇත්තටම මෙහෙම වුණේ මොකද කියල හොඳට සොයලා බැලුව.

එතකොට දැනගත්තලු රජයේ ඉහළින් ලැබුණ එක්තරා ලැයිස්තුවක නම් සඳහන් මැති ඇමැතින්ට මෙවැනි රජයේ ගුවන් යානාවල ගුවන් ගමන් පහසුකම නොලැබෙන බව... පස්සෙ තවදුරටත් සොයනකොටලු දැනගත්තෙ මේ ලැයිස්තුවෙ නම් තියෙන්නෙ ආණ්ඩුවෙ පුටු පාටියෙ ඉන්න ෂුවර් නැති කස්ටියගෙය කියලා. 

පසුගියදාක පිටරටකදි හිටපු ලොකු තැන හම්බුවෙලා සුහද කතාබහක නිරත වුණ උප ඇමැති තැනත් ඒ ගොඩට වැටිල බව උන්නැහේ දැනගත්තෙ එහෙමයි... ඉතින් එයා ගුවනින් මඟුල් ගෙදර යාම අවලංගු කරල වාහනෙන් ගියා. අනෙක් මිත්‍රයො ගුවනින් මඟුල් ගෙදර ගිහිල්ලා ආවලු.