පසුගියදාක හිටපු ලොකු තැන කොළඹ නගරෙ ලොකු පන්සලක නායක හිමිනමකගේ දේහයට අවසන් ගෞරව දක්වන්න සුප්‍රසිද්ධ ආරාමෙකට පැමිණියා...
එතැන ඒ මොහොතේ හිටපු ප්රභූවරු මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනෙක් හිටපු ලොකු තැන එක්ක රට තොටේ දේවල් ගැනත් ව්‍යවස්ථාව ගැනත් නොයෙක් දේ කියමින් ලොකු සාකච්ඡාවක් කළා කියමුකො. හිටපු ලොකු තැන මේ ගමන ආවෙ තමන්ගෙ ආරක්ෂකයො පිරිසක් එක්කයි... මේ කතාබහ යද්දි තවත් ඒ වගේම ආරක්ෂක පිරිසක් පන්සලට පැමිණියා. එයාල හෙමින්ම හිටපු ලොකු තැනගෙ ආරක්ෂකයො ළඟට කිට්ටුවෙලා ඇහුවෙ... කීයටද උන්නැහේ පන්සලෙන් යන්නෙ කියලලු.
ඒත් ඉතින් උන්නැහේ හරියටම පිටත්වෙන වෙලාව ආරක්ෂකයොත් දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා එයාලත් අන්දුන් කුන්දුන් වෙලයි හිටියෙ.
අලුතෙන් ආපු ආරක්ෂකයො දිගින් දිගටම හිටපු ලොකු තැන යන්නෙ කීයටද අහන්න ගත්තම ඒ අයගෙ ප්‍රධානියා හිමින්ම හිටපු ලොකු තැන ළඟට කිට්ටු කරල මේ හුටපටේ ගැන එයා දැනුවත් කළා. ඒ කතාව අහපු හිටපු ලොකු තැනට ඉබේම සිනා පහළ වුණා.
“හරි එහෙම නම් අපි යමු” කියපු හිටපු ලොකු තැන එතැනින් යන්න පිටත් වුණා.
උන්නැහේලා ගියා විතරයි තවත් අතිවිශේෂ අමුත්තෙක් රැගත් ප්‍රභූ රථ පෙළක් පන්සලට එනව පෙනුණා.