පසුගියදා කොළඹ දි ප්‍රකට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුණා... උදේ සමුළුව විවෘත කළ වෙලාවෙ ලංකා ආණ්ඩුවෙ ඉන්න එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමැතිතුෙමකුටත් කතාවක් කරන්න තිබුණා.
උඩරටින් ආපු කතාවට දස්ස මේ ඇමැතිතුමා ඔන්න තමන්ගෙ කතාව කළා... ඒක තමන්ගෙ නිලධාරීන් හොඳට පිටපත් කරල තිබුණ නිසා ඇමැතිතුමාටත් කතාව පහසු වුණා.
මේ ජාත්‍යන්තර සමුළු නියෝජිතයන්ට රටේ ලොකු මහත්තය එදා රාත්‍රී රජගෙදරදි විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා.
රාත්‍රි භෝජනයට පැමිණි විදේශ නියෝජිතයො පිළිගැනීමේ කතාව පැවරිලා තිබුණෙත් උදේ කතා කළ ඇමැතිතුමාටමලු...
උදේ වගේම උන්නැහේ කලින් සකස් කළ කතා පිටපත අරන් කතාවට ලෑස්ති වුණා... සුභ උදෑසනක් වේවා නෝනාවරුනි මහත්වරුනි... කියමින් ඇමැතිතුමා කතාව පටන් ගත්ත. රාත්‍රී භෝජනේට ආපු අයට ඇමැතිතුමා සුභ උදෑසනක් කිව්වට පස්සෙ එතන හිටපු දෙස් විදෙස් නියෝජිතයො මුහුණට මුහුණ බලාගත්තා...
ඒත් ඇමැතිතුමා වගක් නැතුව කතාව කරනව... ටිකක් කතා කරගෙන යනකොට උන්නැහේට තේරුණා තමන් මේ කියවන්නෙ උදේ කරපු කතාවම බව... වැඩේ වැරදුණු නිසා හොඳටම කලබල වුණ ඇමැතිතුමා ලොකු ජරමරයක් කරල කතාව යාන්තම් වෙන පැත්තකට හරවල ෂේප් න්‍යායෙන් වැඩේ කම්මුතු කළා...
රටේ ලොකු මහත්තය ඇතුළු නියෝජිතයො මේ නාට්‍යය බලල වින්දනයක් ලැබුව බව පෙනුණා. කටින් නොයෙක් දේ කියල ප්‍රසිද්ධියට පත්වුණ මේ ඇමැතිතුමා පක්ෂ ගණනාවක හිටපු කෙනෙක්...