අපි මේ කියන උන්නැහේ ආණ්ඩුවෙ ලොකුම මණ්ඩලේක සභාපති පුටුවෙ වාඩිවෙලා ඉන්න කෙනෙක්... සභාපතිකම් කළත් උන්නැහේ කාලයක් තිස්සෙ තමන් හුරුපුරුදුවෙලා ඉන්න දේවල් තවමත් ඒ විදියටම කරන එකලු ප්රශ්නෙ.
ඒක මුන්නැහේගෙ කන්තෝරුවෙ සේවකයන්ට වගේම අධ්යක්ෂ මණ්ඩලේටත් ලොකු ප්රශ්නයක් වෙලා තියෙන බව ආරංචියි.
ඉතින් මෙයා ළඟ තියෙන ඔය බරපතළ අඩුපාඩුව ගැන කෙළින්ම කියන්න යන එක හොඳ නැති නිසා අධ්යක්ෂ මණ්ඩලේ උදවිය ඒක ව්යංගෙන් එයාට වාර ගණනාවක්ම දැන්නුව. ඒත් සභාපතිතුමාට ඒ කතා තේරෙන්නෙ නැතිලු...
ඇත්තටම ඒක හරි පෞද්ගලික ප්රශ්නයක්... දන්න තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් උන්නැහේ අධ්යක්ෂ මණ්ඩලේට ආවම එයාගෙන් පැතිරෙන ගඳ සෙසු අධ්යක්ෂවරැන්ට දරාගන්න බැරි එකලු තියෙන ප්රශ්නෙ... මේ ගැන වටින් පිටින් හොයල බලපු අධ්යක්ෂවරුන්ට තවත් කාරණා දෙකක් දැනගන්න ලැබිලා...
මේ ගඳට හේතුව උන්නැහේ සති දෙකකට පාරක්වත් නාන්න දක්වන අකමැත්තලු... ඒ වගේම දිනපතාම පාහේ එකම ඇඳුම ඇඳීමත් ඒ ප්රශ්නයට බලපාපු හේතුවක් කියල අධ්යක්ෂවරු සොයාගෙන. ඉතින් අනේ මේ වගේ ප්රශ්නයක් අධ්යක්ෂවරු සභාපති තැනට කොහොම කියන්නද? වක්රව කියන එකත් තේරෙන්නෙ නැතිකොට මොනව කරන්නද කියල අධ්යක්ෂවරු කල්පනා කරනවලු. මේ බරපතළ ගඳ සුවඳ ප්රශ්නය නිසා හුඟක් දවසට අධ්යක්ෂ මණ්ඩලේ ගණපූරණෙත් අඩුලු.
මේකෙ ලස්සනම කතාව ඒක නෙවෙයි... මේ කියන සභාපති තැන රාජකාරි කරන්නෙ වතුරටම සම්බන්ධ ආයතනයක වීමයි. ඉතින් ඕන තරම් වතුර තියෙද්දි නොනා සිටීමෙන් වෙච්ච ජරමරේ උන්නැහේට කිව්වට නොතේරෙන අධ්යක්ෂ මණ්ඩලේ මහත්තුරු මේ කතාව ව්යංගෙන් හරි විෂය භාර ඇමැති තැනට දන්වන්නලු යන්නෙ... ඇමැති තැනයි සභාපති තැනයි ගජමිත්රයො හන්දයි තවමත් වැඩේ ඇදි ඇදී තියෙන්නෙ කියල තතු දත් අය කියනවා...