අලි පාටියෙ ලොකු මහත්තයට විස්වාසෙ පළකරන්න ආණ්ඩුවෙ අලි පැටියෙක් හවුල්කාර පක්ෂවලත් උදවියගෙ අත්සන් ගත්තා.... මේ ලියැවිල්ලට සෑහෙන පිරිසක් තමන්ගෙ අස්සන යෙදූ බවත් ආරංචියි.... ඒ විදියට අලි පාටියෙ කස්ටිය අස්සන් කළාම... ඒ ලියුම තවත් බරසාර කරගන්න අත පාටියෙ හතර දෙනකුගෙනුත් අස්සන් ගන්න පොඩි ප්ලෑනක් ගහලලු තිබ්බෙ....
විශ්වාසභංගෙට අතපාටියෙන් 4ක් අස්සන් කරපු නිසා ඒක කැපෙන්න විශ්වාසෙ පළකරන ලියුමට එයාලගෙ 4 කගෙන් අස්සන් 4ක් ගැනීමයි මේ වැඩේ සැබෑ අරමුණ වුණේ....
මේ වැඩේට කැමැත්ත දුන්න හතර දෙනෙකුත් හිටිය. එක්කෙනෙක් රජරට. අනෙකා කළුතර. අනෙක ගාල්ලෙ. තවත් වියපත් කෙනෙක් කොළඹින් මේ අස්සන් ගැහිල්ලට ලෑස්ති වෙලාලු හිටියෙ. කොහොමින් කොහොමහරි මේ ආරංචිය අත පාටියෙ ඉහළම තැන්වලටත් ලැබුණා.
ඒ පාර හැරෙන තැපෑලෙන් මේ 4 දෙනාට දුරකතන ඇමැතුම් 4ක් ආව... ඉහළම මන්දිරේකින්. ප්රශ්නය විමසලා අන්තිමට නියෝගයකුත් දුන්නලු. ඒ නියෝගෙ කොච්චර සැරද කිව්වොත් ඊට පස්සේ මේ 4 දෙනා තමන්ගෙ ජංගම දුරකතනත් ඕෆ් කරල ගෙවල් දොරවල්වලිනුත් පිටවෙලාලු හිටියෙ. ඒ නිසා දෙවැනි මහත්තයට පක්ෂ ලියුමට උන්නැහේලගෙ අස්සන් ලැබුණෙ නැහැ.