2018 මැයි 26 වන සෙනසුරාදා

අස්සන් 2 යි!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 523

පසුගිය දවසක අලි පාටියේ පසුපෙළ මන්ත්‍රී සැට් එක එක්තරා තැනකට එකතු වුණාලු බරපතළ තීරණයක් ගන්න. අටදෙනෙක් විතර මේ හමුවට ඇවිත් හිටියලු. මේ අටදෙනාම ඒ අයට පක්ෂයෙන් මෙච්චර කල් වෙච්ච දෙයක් නැතෙයි කියල දුක් අඳෝනා කීව බවත් ආරංචියි...

මේ ඔක්කොම අඳෝනාවලින් පස්සෙ අටදෙනාම එක තීරණයකට ආවලු මැතිසබේදි ස්වාධීන මහත්තුරැ වෙන්න. ඔන්න ඒ යෝජනාවට කට්ටියම හා හා කියල අත ඉස්සුවලු. මේක අහගෙන හිටිය බදුල්ලේ පැත්තෙ මන්තිරිතුමෙක් කිව්වලු අපි එහෙනම් ලියමනක් අත්සන් කරල පක්ෂයට බාරදෙමු කියල. ඔක්කොම හා කියල ඒ යෝජනාව පිළිඅරන්.

ඔන්න දැන් කට්ටියම එකතුවෙලා එයාලගෙ අඳෝනා ඇතුළත් කරල ලියමනක් හැදුව... ඊටපස්සෙ අත්සන් කරන්න එක එක්කෙනා අතට යැව්වලු. අන්තිමට ලියමන වටේ ගිහින් එනකොට තිබුණෙ අත්සන් දෙකයිලු... එකක් බදුල්ලේ මන්තිරිතුමාගෙලු. අනිත් අත්සන මැණික්පුරේ තරැණ මන්තිරි කෙනෙක්ගෙලු. මේක දැක්කම මේ දෙන්නටම නහුතෙට තදවෙලා ලියමන දෙකට මැද්දෙන් ඉරල විසිකළා කියලයි ආරංචිය... ඔන්න ආයෙත් නම් මේ කස්ටිය එක්ක හවුලේ කැඳබොන්නෙවත් නෑ කියලලු තීරණේ.