පසුගිය දවස්වල අලුත් ආණ්ඩුවක් හදන්න ගියාම පක්ෂ මාරුවට සමහරු රුපියල් මිලියන 500 වගේ ලොකු ගණන් ඉල්ලුවය කියන කතාව ලොකු ලොක්කො ගණනාවකගෙ කටින් කියැවුණා. ඒක රටේ ලොකු මහත්තයටත් රහසක් වුණේ නැතිලු.
මේ වගේ කතාවක් සැල්වීනියා වගේ එකපාරට නිකම්ම පැතිරෙන්නෙ නැති නිසා ආණ්ඩුවෙ වගේම විපස්සයෙත් කිහිප දෙනෙක් කතාවෙ ඇත්ත නැත්ත හොයාගෙන හොයාගෙන ගියාම... කතාව නතර වුණේ ඈත පළාතක් නියෝජනේ කරන්න දියවන්නා කවුන්සිලේට පත්වෙලා ඉන්න එක්තරා කටකාරයෙක් ළඟලු. හැබැයි මේ කියන කටකාරයා මුලින් ඔය මිලියන 500 කතාව පොහොට්ටු කස්ටියට කිව්වට පස්සෙ ඒක සෑහෙන්න අඩු කළා කියලත් ඒ ගැන සෙවුම් බැලුම් කරපු අයට දැනගන්න ලැබුණා.
කොහොම නමුත් මේ වැඩේ කෙරැණෙ නැහැ. ඒ නිසා එයා තවම හිටපු තැනම ඉන්නව... ඉන්න ගමන් වේදිකාවට නැගල පොහොට්ටුකාරයන්ට ඇට්ටි හැලෙන්න නෙලනව. ඒව බලන් ඉන්න පාක්ෂික ජනතාව උඩ පැනල අප්පුඩි ගහනව... අප්පුඩි ගහන අය කවුරැවත් මේ මිලියන් කතාව දන්නෙ නැහැ.