2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පිරිමින්ට එපා කරපු රෝගය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 863

දේශය පාඨකයන් වෙනුවෙන් අපි ඉදිරිපත් කළ “අපි නොදන්න SEX ලිපි පෙළ බොහෝ ඵලදායි වූ බවට පාඨක ප්‍රශංසා ඉදිරිපත් වුණා. ඒ වගේම වෙනත් වෙබ් අඩවිවලත් එය පළකරන්නට තරම් ඉල්ලීමක් ඇතිවුණා. මේ නිසා තවදුරටත් ලිංගිකත්වය ආශ්‍රිතව පැනනගින බොහෝ දෙනා කතා කරන්නට ලජ්ජා වන කරුණු කිහිපයක් වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කර ගන්නට අපි නැවත විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේට ආරාධනා කළා. 

අද මුලින්ම බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක්ව ඇති පිරිමින් බොහෝමයක් කතාකරන්නට මැලිවෙන නෂ්ඨකාමය හෙවත් ලිංගික අප්‍රාණිකත්වය ගැන කතා කරමු.

දැන් ඔය සති අන්ත පත්තර ගත්තත් රෑපවාහිනී වැඩසටහන් අතරත් හැමතැනම දකින්න පුළුවනි විශ්මිත වෙදකම් ගැන. මේ වෙදකම්වලින් කතා කරන්නේ වැඩිපුරම පුරුෂ පක්ෂයට බලපාන දුර්වලතාවයක් ගැනයි. මුලින්ම කියන්න ඕනෑ මේ කියන තත්ත්වයට ගොඩ වෙදකම් නෑ. හරි වෙදකම් ඕනෑ තරම් තියනවා. අනෙක මේ තත්ත්වය ස්වභාවිකයි. ඒ නිසා ලජ්ජාවෙන්න දෙයක් නෑ. බය නැතිව සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුව මේ ගැන සාකච්ඡා කරන්න. ඔහු ඔබට පිහිට වේවි. දැන් මේවාට ඕනෑ තරම් බෙහෙත් තියෙනවා. ඒවා ගැන පසුව කතා කරමුකෝ. අපි දැන් මාතෘකාවට බහිමු.

අප්‍රාණිකත්වය, නැතිනම් ඔය හුඟාක් දැන්වීම්වල කියන්නා වගේ නෂ්ඨකාමය බරපතළ ලෙඩක් හැටියටයි දැන් සාකච්ඡා වෙන්නේ. දැන් තියන සමාජ ක්‍රමය නිසා මිනිසුන්ගේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව උඩුයටිකුරැ වෙලා. ඉතින් ඔන්න කලින් අපේ සමාජයේ නොතිබුණ ලෙඩ රෝග නොසිතූ වයස් මට්ටම්වල අයටත් වැළඳිලා. ඉස්සරනම් අපේ වයසක උදවියටත් නොතිබුණු මේ ලෙඩේ දැන් අපේ තරැණ කට්ටියටත් ඇවිල්ලා. මොකක්ද මේකට හේතුව? මොකක්ද අප්‍රාණිකත්වය කියන්නේ? මේ තත්ත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා විස්තර කරන්න පුළුවනි.
එකක් තමා පුරුෂයාගේ ලිංගය සම්භෝගයට අවශ්‍ය මට්ටමට ප්‍රාණවත් නොවීම. මේකට කියන්නේ Erectile Impotence කියලා. දෙවැන්න ලිංගය ප්‍රාණවත් වුණත් දරැවෙක් පිළිසිඳ ගැන්වීමට අවශ්‍ය වන ධාතු මුදාහැරීමට ඇති නොහැකියාව. ඒකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ Ejaculatory Impotence කියලා.

පොදුවේ ගත්තාම පිරිමින්ට බලපාන ප්‍රධාන ලිංගික ගැටලුවක් තමා මේ කියන පළමුවැනි තත්ත්වය. පිරිමින්ගෙන් සියයට දහයකට පමණ ජීවිතේ ඕනෑම අවස්ථාවකදී මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවනි. දැනට ඇති ලොකුම ලිංගික ගැටලුවක් හැටියටත් මෙහි සඳහන් පළමුවැනි තත්ත්වය EI හඳුවන්න පුළුවනි.
අවුරුදු 40 – 70ත් අතර වයස් කාණ්ඩය තමා මෙයට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ. ඒ වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතරින් සියයට 52කට පමණ මේ දුබලතාවය ඇතිවන්න පුළුවනි. මෙච්චර ලොකු කණ්ඩායමකට ඔය අමාරැව තිබුණත් ලැජ්ජාව නිසා ප්‍රතිකාර ගන්න එන්නේ නෑ. 

හුඟාක් අය හිතන්නේ වයසත් එක්ක ඉබේම ඇතිවන තත්ත්වයක් හැටියටයි. වයසත් එක්ක දුබලතාවයන් හටගැනීම සත්‍යයක් වුණාට, මේකට හේතුව නම් වයස් ගත වීමම නොවේ. ඒකට මූලිකම හේතුවන්නේ අද සමාජයේ බහුල බවට පත්වෙලා තියෙන බෝ නොවන රෝග. මේ ගැටලුවට මුහුණ දෙන සියයට 80කට එය වැළඳිලා ඇත්තේ දියවැඩියාව, රුධිර වාහිනීගත රෝග, කොලෙස්ටරෝල්, අනතුරු සහ හිතුමතේ ගන්නා විවිධ ඖෂධ වගේ කායිකව බලපාන හේතු නිසයි. අනෙක් හේතුව නිදහස් නොවන මානසික තත්ත්වය. හැබැයි මේ මානසික හේතුව නිසා ඇතිවන අප්‍රාණිකත්වය වාර්තා වෙන්නෙත් සියයට 20ක් තරම් අඩු මට්ටමකින්. ඇත්තටම මේ සඳහා බලපාන ප්‍රධාන හේතු 5ක් දක්වන්නට පුළුවනි. අපි ඊළඟට ඒ ගැන කතා කරමු.

උපදෙස්:- විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ 

සටහන:- සුගත්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00