2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ක්ෂය රෝග මාරකය නිදි යහනටත්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 2720

ක්ෂය රෝගය බෝවෙන රෝගයකි. ක්ෂය රෝගය පැතිරයාම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ වාතය මගිනි. රෝගී පුද්ගලයෙකු ස්පර්ශ කළ පමණින්, ඔහු/ඇය සමඟ ආහාර හෝ වෙනත් උපකරණ හෝ ද්‍රව්‍ය හුවමාරු කරගත් පමණින් මෙම රෝගය බෝවීම සිදුවෙන්නේ නෑ. එයට හේතුව තමා ක්ෂය රෝග කාරක බැක්ටීරියාවට සාමාන්‍ය වායුගෝලයේ හෝ පරිසරයේ නොනැසී සිටීමට හැකියාවක් නොමැති වීම. කෙසේ නමුත් අද අපි හොයල බලන්න යන්නේ රෝගී පුද්ගලයෙකු සමඟ හාදු හුවමාරු කර ගතහොත් එහෙම නැත්නම් ඔහු/ඇය සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් මෙම රෝගය බෝවීමේ අවදානමක් තියෙනවද නැද්ද කියන කාරණාවයි.

ක්ෂය රෝග වර්ග
ඉහත දක්වා තියෙන ප්‍රධාන කාරණාවට එන්න කලින් අපි ඉස්සෙල්ලාම හොයල බලමු ක්ෂය රෝගය බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක මොනවද කියල. මේ වර්ග දෙකෙන් එක වර්ගයක් විතරයි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ. ඒ නිසයි ඒ වර්ග දෙක ගැන අවබෝධයක් ගන්න එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නෙ.

1. ගුප්ත ක්ෂය රෝගය
මේ වර්ගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නෙ නෑ. මෙතැනදි වෙන්නෙ ක්ෂය රෝග කාරකය කෙනෙකුගෙ සිරැර ඇතුළෙ තිබුණත් එයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය තවදුරටත් පැතිර යාම වළක්වා ගැනීමයි. එහෙම නැත්නම් පාලනය කිරීමයි. නමුත් මෙම තත්ත්වය වෙනස් වී, ඔහු හෝ ඇය ක්ෂය රෝගියෙකු වීමට හා රෝග වාහකයෙකු වීමට අවදානමක් නැතුවා නොවෙයි. ඔහුගේ/ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි හේතුවක් නිසා දුර්වල වුවහොත් ඒ වහාම ක්ෂය රෝග කාරකයා ගුප්ත තත්ත්වයෙන් මිදී කරළියට පැමිණිය හැකියි. එවිට ඇතිවන්නේ දෙවැනි වර්ගයේ ක්ෂය රෝගයයි. එය සක්‍රීය ක්ෂය රෝගයයි.

2. සක්‍රීය ක්ෂය රෝගය
ක්ෂය රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවන්නේ මෙම තත්ත්වයේදීයි. එසේම ක්ෂය රෝග කාරකය සහිත පුද්ගලයා ක්ෂය රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් මෙම තත්ත්වයේදී සිදුවෙනවා. මෙහිදී ඇතිවිය හැකි සුලබතම රෝග ලක්ෂණයන් මෙලෙස  දැක්විය හැකියි.

මූලික රෝග ලක්ෂණ:
රාත්‍රී කාලයේදී අධිකව දහඩිය දැමීම, කැස්ස, අධික තෙහෙට්ටුව හෝ හතිය, කෙටි කාලයක් ඇතුළත විශාල ලෙස සිරැරේ බර අඩුවීම හා මඳ උණ දැක්විය හැකියි.

මෙවැනි ලක්ෂණ දීර්ඝකාලයක් පවතින විටක වෛද්‍ය උපදෙස් කරා යොමුවීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ක්ෂය රෝගය වඩාත්ම අවදානම් වන්නේ හා ඉක්මනින්ම පැතිර යන්නේ රෝගියාගේ පෙනහළු ටියුබකියුලෝසිස් බැක්ටීරියාව (ක්ෂය රෝග කාරක බැක්ටීරියාව) මගින් ආසාදනය වී ඇති විටදීයි. මෙම තත්වය Pulmonary Tuberculosis  හෝ Lung TB ලෙසට හඳුන්වනු ලබනවා.

ක්ෂය රෝගය, හාදු හුවමාරුවකදී පැතිර යා හැකිද?
ඇත්තෙනම එය සිදුවිය හැකියි. මෙහිදී වඩාත්ම අවදානම් රෝග වාහකයන් නැතිනම් රෝග පතුරැවන්නන් වන්නේ පෙණහළු ටී.බී. ආසාදිත පුද්ගලයන්. ඔවුන්ගේ ඛේටයේ නැතිනම් කෙළවල ක්ෂය රෝග කාරක බැක්ටීරියාවන් තිබීමේ ඉතා විශාල අවදානමක් තිබෙනවා.

ක්ෂය රෝගය, ලිංගික එක්වීමකින් පැතිර යා හැකිද?
මෙයත් සිදුවිය හැකි දෙයක්. නමුත් ඒ ඉතාමත්ම කලාතුරකින් බව මතක තබාගන්න. ක්ෂය රෝග කාරක බැක්ටීරියාව මගින් ප්‍රජනක ඉන්ද්‍රීයන් ආසාදනය වී ඇති රෝගීන් හරහා මෙම ක්‍රමයට ක්ෂය රෝගය පැතිරයාමේ අවදානමක් පවතිනවා. ප්‍රජනක ඉන්ද්‍රීයන්ට ක්ෂය රෝගය පැතිර යාම බොහෝවිට සිදු වන්නේ රුධිර සංසරණ පද්ධතිය හෝ වසා පද්ධතිය මගින්. එසේම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතා පහළ ගොස් ඇති අවස්ථාවලදී උදා: පිළිකා, දියවැඩියාව, ඒඩ්ස් මෙලෙස ජනනේන්ද්‍රයන්ට ක්ෂය රෝගය ආසාදනය වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

ජනනේන්ද්‍රීය ටී.බී.වලදී පෙන්වන මූලික රෝග ලක්ෂණ:
රහස් ප්‍රදේශය අවට ඇතිවන වණ හෝ කුෂ්ඨ, අසාමාන්‍ය ස්‍රාවයන් වෑහීම
ප්‍රතිකාර ලබාගන්නා අතරතුරදීත් ජනනේන්ද්‍රීය ටී.බී. පැතිරීම සිදුවිය හැකිද?
සාමාන්‍යයෙන් පෙනහළුවලට ඇතිවන ක්ෂය රෝගය සති 2-3 කාලයකින් ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව අතට පත්කරන්න පුළුවන්. සමහවිට මේ සඳහා සති 4ක් පමණ කාලයක් ගත වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් පෙනහළුවලට ඇතිවන ක්ෂය රෝග තත්ත්වය හැරුණුකොට අනිකුත් සියලුම ක්ෂය රෝග තත්ත්වයන් සුවකිරීම තරමක් අපහසුයි. මෙම තත්ත්වය ජනනේන්ද්‍රයන්ට ඇතිවන ක්ෂය රෝගයටත් පොදුයි. එනිසා ප්‍රථිකාර ගන්නා අතරවාරයේත් ලිංගික එක්වීමක් මගින් ජනනේද්‍රීය ටී.බී. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවිය හැකියි.

ක්ෂය රෝගය පිළිබඳ පැතිර ඇති ප්‍රකට මිත්‍යාවන්:
• ක්ෂය රෝගය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජානමය වශයෙන් උරුමවන රෝගයකි.
• ක්ෂය රෝගය ජීවිත කාලයේදී එක්වරක් පමණක් වැළඳෙන රෝගයකි.
• ක්ෂය රෝගය සුවකළ නොහැක.
• ක්ෂය රෝගය වැළඳුන පුද්ගලයන් ප්‍රතිකාර ගන්නා අතරතුරදීත් මාස හයක්වත් අන්‍යයන්ගෙන් වෙන්කර තැබිය යුතුය.
මේ සියල්ල බොරු බව මතක තියාගන්න.

කාසේ මාට්ටු වෙන මාන්ටූ පරීක්ෂාව

සාමාන්‍ය කතාබහේදී කාසේ හැටියට හඳුන්වන ක්ෂය රෝගය කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුවකළ හැකියි. ඒ සඳහා පහසුවෙන්ම යොදාගන්නෙ ක්ෂය රෝගය හඳුනා ගැනීම සඳහා වූ මාන්ටු පරීක්ෂාවයි. මෙය සම ආශ්‍රීත පරීක්ෂාවකි.

රෝගියකුට ක්ෂය රෝගය ඇතැයි අනුමාන කරන විට හෝ ක්ෂය රෝගයෙන් පෙළෙන විට වෛද්‍යවරයන් අනිවාර්යයෙන්ම යොමුකරන පරීක්ෂාවක් ලෙස ‘ටියුබකියලෝසිස් ස්කින් ටෙස්ට්’ හඳුන්වන්න පුළුවන් මේ පරීක්ෂාව මාන්ටු පරීක්ෂාව ලෙසත්, පී.පී.ඩී. පරීක්ෂාව (purified protein derivative) ලෙසත් හඳුන්වනවා.

මෙය සිදුකරන්නේ ක්ෂය රෝග ඇතිකරන බැක්ටීරියාව හඳුනාගැනීමටයි. මේ චර්ම පරීක්ෂාව මගින් දෙආකාරයේම ක්ෂය රෝගීන් හඳුනාගත හැකියි. පරීක්ෂණයට පෙර ඔබ විශේෂ සූදානමක් විය යුතු නැත. එහෙත් එන්නතක් ලබාගෙන ඇත්නම් හෝ ස්ටෙරොයිඩ කාණ්ඩයට අයත් ඖෂධ ලබාගෙන ඇත්නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න. එම ඖෂධ මගින් පරීක්ෂණ ප‍්‍රතිඵලවලට බාධා ඇතිවිය හැකියි.

පරීක්ෂණය සිදුකරන ආකාරය
පරීක්ෂණය සිදුකරන්නේ වෛද්‍යවරයකු හෝ පුහුණු ලත් හෙදියක විසිනි. පරීක්ෂණයේදී අජීවී ක්ෂය රෝග කාරකයෙන් සැදි ප්‍රෝටීනයක් අඩංගු ද්‍රව්‍යය කුඩා ඉදිකටුවක් ආධාරයෙන් අතේ වැලමිටට පහළින් සම තුළට විදිනු ලබයි. එම එන්නත් කළ ස්ථානයේ කුඩා එසවීමක් දක්නට ලැබෙන අතර වෛද්‍යවරයා එම ඉදිමුම් ස්ථානය අවට රවුමක් අඳියි.

පරීක්ෂණය කරන අතරතුරේ රවුම ඇදි පෙදෙස කැසීමෙන්, බැන්ඩේජයකින් ආවරණය කිරීමෙන් වළකින්න. එන්නත් කළ ස්ථානයේ කුඩා කුරැලෑවක් වැනි බිබිලක් හට ගැනීමට ඉඩ තිබේ. එය ඉබේම සුවවෙයි. චර්ම පරීක්ෂාව මගින්ෙවකි. යට හඳුන්වන පරීක්ෂණයෙන් පසු පැය 48 – 72 තුළ නැවත රෝගියා වෛද්‍යවරයා කරා යා යුතුයි. එවිට ප‍්‍රතිඵල දැනගැනීමට අවස්ථාව ලැබේ. එහිදී වෛද්‍යවරයා විසින් සමේ එසවීම මනිනු ලබයි.

ප්‍රතිඵල
සම විශාල වශයෙන් එසවී ඇත්නම් රෝගියා ක්ෂය රෝගයෙන් පෙළෙන්නකු වීමට බොහෝදුරට ඉඩ තිබේ. දැනට ක්ෂය රෝගය පවතිනවා නම් හෝ කලින් ක්ෂය රෝගය වැළඳී තිබීම නිසා සම විශාල වශයෙන් එසවිය හැකියි. පරීක්ෂණයට පසු සම මිලිමීටර් 10 – 15 තරම් විශාල වීම දැනට රෝගියා ක්ෂය රෝගයෙන් පෙළෙන බවට ඉඟියකි.

පරීක්ෂණයෙන් යම්කිසි පුද්ගලයෙක් ක්ෂය රෝගයෙන් පෙළෙන්නේදැයි, නැත්දැයි කිව හැකි නමුත් පෙළෙන්නේ කුමන ක්ෂය රෝග තත්ත්වයෙන්ද කියා නම් කිව නොහැකිය. පරීක්ෂණයෙහි කිසිදු අතුරු ආබාධයක් නැත. පරීක්ෂණයෙන් පසු අතේ ඇඳි රවුම මකා ඉවත් කරයි. ක්ෂය රෝගය වැළඳී ඇතැයි කියා අනුමාන කරන රෝගීන් ලේ, මුත‍්‍ර පරීක්ෂණවලට හා එක්ස් කිරණ පරීක්ෂාවකට යොමු කරයි. එලෙස වැඩිපුර පරීක්ෂාවෙන් රෝගියාට වැළඳී ඇත්තේ සක්‍රීය ක්ෂය රෝගයද අක්‍රීය ක්ෂය රෝගයද කියා දැනගත හැකියි.

 

- සුගත්