2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

වෛරස ලෙඩ නසන ඖෂධීය ආහාර

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1220

යම් ආහාරයක ඖෂධීය ගුණ යනුවෙන් හැඳින්වෙනුයේ එම ආහාරයට ශරීරය නීරෝගී කිරීමට ඇති හැකියාවයි. එනම්, ආහාරයකට ශරීරය තුළ රෝග වැළැක්වීමේ හැකියාව සහ පවතින රෝග සමනය කිරීමේ ඇති හැකියාවයි. මෙය සරලව ආහාරයක ඖෂධීය ගුණ යනුවෙන් හැඳින්වේ. ආහාරයක් ක්‍රියාකාරී ඖෂධීය ගුණ ඇති ආහාරයක් වීමට නම්, එහි ප්‍රශස්ත ස්වාභාවික රසායනික සංඝටක අන්තර්ගත විය යුතුය. මෙම සංඝටක ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ ප්‍රමිතියෙන් යුතු ස්වභාවික රසායනික සංයෝග විය යුතුය. ආහාරයක මෙම සංයෝග ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වැඩි නම්, එම ආහාර ඉහළ ඖෂධීය ගුණ ඇති ආහාර ලෙස සැලකේ.

ආහාරයක ඖෂධීය ගුණ යනුවෙන් ප්‍රධාන වශයෙන් හැඳින්වෙනුයේ පහත සඳහන් ගුණය. එනම් ප්‍රතිඔක්සිකාරක ගුණය, පිළිකා වැළැක්වීමේ ගුණය, හෘදය වස්තුව ආරක්ෂා කිරීමේ ගුණය, අක්මාව ආරක්ෂා කිරීමේ ගුණය, වකුගඩු ආරක්ෂා කිරීමේ ගුණය, ආහාර මාර්ගය ආරක්ෂා කිරීමේ ගුණය, පෙණහලු ආරක්ෂා කිරීමේ ගුණය, ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමේ ගුණය, දියවැඩියාව වැළැක්වීමේ ගුණය, ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණය, කොලෙස්ටරෝල් අඩු කිරීමේ ගුණය, ප්‍රතිප්‍රදාහ ගුණ සහ ප්‍රතිජීවක ගුණයි. එයින් අද අප කතා කරන්නට යන්නේ ආහාර සතු ප්‍රතිඔක්සිකාරක මගින් සැපැයෙන ප්‍රතිජීවක ගුණයයි. ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන රෝග වැළැක්වීමේ හැකියාව ගැනයි.
ප්‍රතිශක්තිය ඉහළ නංවයි

අප ආහාරයට ගන්නා එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව ඇත. මේ සඳහා හේතු වනුයේ ආහාරවල අඩංගු Phenol, Flavonoid, Alkaloid, Polysaccharides වැනි සංයෝගයන්ය. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය සහ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යයි. මෙමගින් මූලිකව ශරීරය බෝ වන රෝගවලින් ආරක්ෂා කෙරේ. ශරීරයේ සම, අක්මාව, වකුගඩු, ආහාර මාර්ගය, පෙණහලු වැනි ස්ථානවල ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇති වන රෝග වැළඳීම මින් පාලනය වේ. මේ නිසා Ecoli, Salmonella, Neisseria වැනි බැක්ටීරියා මෙන්ම ව්‍යාධිජනක වෛරස්, දිලීර වර්ග ද මර්දනය වේ. ශරීරයේ පිළිකා මර්දන හැකියාව ඇතුළු බෝ නොවන රෝග සහ බෝ වන රෝග මර්දනය ද මේ හරහා සිදුවේ. මෙම ප්‍රතිශක්තිකරණ හැකියාවට මූලික වශයෙන් හේතු වනුයේ ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගයන්ය. මෙම ප්‍රතිඔක්සිකාරක නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ නිපදවන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් වී එය ක්‍රමානුකූලව නීරෝගීව ක්‍රියා කිරීමට පටන් ගනී. මේ නිසා මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ යයි.

ඇතැම් ආහාර ඍජුවම ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිකරයි. ප්‍රතිදේහ (Antibody) නිපදවීම වැඩි කිරීම මෙහිදී මූලිකව සිදුවේ. මෙහිදී ආහාර මාර්ගයේ ඇති වසා පටක තුළින් IgA නිපදවීම සහ වසා පටකවල ක්‍රියාකාරීත්වය වැඩි කෙරේ. මේ අතර ආහාර මාර්ගයේ ඇති ලැක්ටික් ඇසිඩ්වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම තුළින්ද ශරීරය තුළ ඇති ස්‍රාවීය ප්‍රතිශක්තිය වැඩි කෙරේ. ප්‍රතිශක්තිය වෙනුවෙන් ආහාර මාර්ගයේ ඇති සියලු ප්‍රතිශක්ති සෛල සහභාගී කරවා ගනී. ආහාර මාර්ගයේ ඇති ස්‍රාවී ප්‍රතිශක්ති සෛලවලින් 70ක් IgAය. ෆයිටොකෙමිකල්ස් මේවා සක්‍රීය කරයි. එසේම මේවා මගින් ආහාර මාර්ගයේ පමණක් නොව වෙනත් ස්‍රාවී පටක ඇති පෙණහලු, ඛේට ග්‍රන්ථි, ස්තන ග්‍රන්ථි, ලිංගික පද්ධතිය ඇතුළු සියලුම ස්ථානවල IgA සක්‍රීය කරයි.
ආහාරවල ඇති මෙම ප්‍රතිශක්තිකාරක ෆයිටොකෙමිකල්ස් මගින් ශරීරයේ ඇති B,T ලිම්පොසයිට් පරිවහනය සක්‍රිය කරයි. එහි Neutrophils, Monocytes, Basophils වල ක්‍රියාකාරී බව වැඩිකරයි. මොවුන් සියලුදෙනාගේම භක්ෂණ හැකියාව (Phagocytic Caoacity) වැඩිකරයි. CD4 සෛලවල ක්‍රියාකාරී බව වැඩි කරයි. Lympokins වල ක්‍රියාකාරී බව වැඩිකරයි. Gama interferon වල ක්‍රියාකාරී බව පවත්වා ගනී. Complement ක්‍රියාකාරී කරයි. IgG, IgM වල ක්‍රියාකාරී බව වැඩි කරයි. එසේම MHC Class II ප්‍රමාණය වැඩි කරයි. Lysosomal ක්‍රියාකාරීත්වය වැඩි කරයි. මේ අයුරින් ආරක්ෂක යාන්ත්‍රණයට අවශය සියලුම රසායනික සංඝටකවල ක්‍රියාකාරීත්වය මෙහෙවයි. එළවළු, පළතුරු සහ ඖෂධීය ශාක ශරීරය තුළ මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති කරනුයේ මෙලෙසිනි.

Antiinflammatory activity - ප්‍රතිප්‍රදාහ ගුණ

අප ආහාරයට ගන්නා ආහාර භෝගවල ප්‍රතිප්‍රදාහ හැකියාව ඇත. මේ සඳහා හේතු වනුයේ ආහාරවල අඩංගු Phenolics, Flavonoids, Alkaloid, Terpenoides වැනි සංයෝගයන්ය. මෙම ප්‍රතිප්‍රදාහ ගුණ නිසා ශරීරය තුළ නිපදවන ප්‍රදාහ ඇති කරන රසායනික ද්‍රව්‍ය (Inflammatory chemicals) ඉවත් වේ. මෙහිදී Cyclooxygenase (COX) සහ Lipoxygenase ක්‍රියාකාරීත්වය නිෂේධනය වේ. ඉන් පසු Prostaglauding (PGE2) ක්‍රියාකාරීත්වය අඩු කෙරේ. එසේම Arachidonic acid මුදා හැරීම ද නිෂේධනය කෙරේ. මේ හරහා Inflammatory cytokinens සහ Pathogenic antigens ඉවත් වේ. මේ නිසා ප්‍රදාහ රෝග (Inflammatory deseases) සුව වේ. මෙම ප්‍රතිප්‍රදාහ හැකියාවට මූලික වශයෙන් හේතු වනුයේ ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය, එසේම Mast cells, Lymphocytes, Neutrophils වැනි සෛල වර්ග සහ ඇතැම් එන්සයිම වර්ග මෙයට ඍජු දායකත්වය සපයයි. ඖෂධීය ශාකවල මෙම ප්‍රතිප්‍රදාහ ගුණ වැඩිය බොහෝ හන්දිපත් අමාරැ, Systemic Iupus erythamatosus වැනි රෝග කැඳ වැනි ආහාරවලින් සුව වනුයේ මෙම ප්‍රතිප්‍රදාහ ක්‍රියාවලිය නිසාය.

Antibacterial activity - බැක්ටීරියා නාශක ගුණ
• Antiviral activity - වෛරස් මර්දන හැකියාව
• Antifungal activity - දිලීර නාශක ගුණ

අප පරිභෝජනය කරන එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල බැක්ටීරියා නාශක ගුණ ඇත. සමහර එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල වෛරස් මර්දන හැකියාව සහ දිලීර නාශක ගුන ඇත. සියල්ල එක්ව ගත් කළ ක්ෂුද්‍ර මර්දන හැකියාව ලෙස අර්ථකථනය කළ හැක. මෙම ක්ෂුද්‍ර මර්දන හැකියාව ශාකයකින් ශාකයකට වෙනස්ය. සාමාන්‍ය ආහාරයකට වඩා ඖෂධීය ශාකවල මෙම හැකියාව ප්‍රබලය.

ශාක තුළ නිපදවෙන ඇතැම් ස්වභාවික රසායනික සංයෝගවලට ශරීරයට අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමේ හැකියාව ඇත. මෙම සංයෝග වනුයේ Volatile oil, Tannin, Terpenoids, Caumarine, Alkaloids, Flavonoids, Glycosides වැනි සංයෝගයන්ය. මේ නිසා ශාක ආහාර පරිභෝජනය කළ විට මෙම රසායනික සංයෝග හරහා ශරීරයට අහිතරක බැක්ටීරියා මර්දනය වී ශරීරය නිරෝගී කෙරේ. මෙහිදී Salmonella, Escherechia coli, Pseudomonas, Staph aureus, Klebsiella pneumonia, Yersenia enterocolitis, Enterococus faecalis වැනි රෝගීකාරක බැක්ටීරියා මර්දනය වේ.

එසේම ආහාරවල අඩංගු ඇතැම් සංයෝගවල වෛරස් මර්දන ගුණ ඇත. එනම් Flavonoids, Terpenoides, Lignance, Sulphides, Polyphenols, Caumarn, Saponin, Alkaloid, Polysacharides, Thiopenes, Proteins, Peptides, Furyl componuds වැනි ෆයිටොකොමිකල්ස්වල වෛරස් නාශක ගුණ ඇත. මේ නිසා Herpez simplex, Influenza A, Cytomegalo virus වැනි රෝගීකාරක වෛරස් මර්දනය වේ.
එසේම ඇතැම් ශාකවල පමණක් දිලීරනාශක ගුණ ඇත. (උදා: බෙලි, පොල්, දිවුල්)

මේ ක්ෂුද්‍ර මර්දන හැකියාව නිසා ආහාර මාර්ගයේ ක්ෂුද්‍ර ජීව ආසාදන, පෙණහලුවල ක්ෂුද්‍ර ජීව ආසාදන, සමේ ක්ෂුද්‍ර ජීව ආසාදන සහ වකුගඩුවල ක්ෂුද්‍ර ජීව ආසාදන යනාදී බොහෝ ආසාදන ප්‍රමාණයක් නිවැරදි ආහාර පරිභෝජනය තුළින් මර්දනය කිරීමට හැකි වේ. සාමාන්‍ය ආහාරයක මෙම ක්ෂුද්‍ර ජීව හැකියාව සාමාන්‍ය මට්ටමක ඇති අතර, ඖෂධීය ආහාරවල එය ඉතා ඉහළය. පොල් උදාහරණයක් ලෙස ගෙන බලමු.

පොල්වල බැක්ටීරියානාශක ගුණ, වෛරස් මර්දන හැකියාව සහ දිලීර නාශක ගුණ යන සියල්ල ඇත. පොල්වලට Ecoli, Pseudomonas, Staph aureus, Klebsiella වැනි අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමේ හැකියාව ඇත. පොල්වල මෙම බැක්ටීරියානාශක ගුණයට හේතු වන්නේ පොල්වල අඩංගු Lauric acid ය. මෙම ලෝරික් ඇසිඩ් බැක්ටීරියා සෛලවල ලිපිඩ ස්ථර දියකර හරිමින් බැක්ටීරියා මර්දනය කරයි.

පොල්වල වෛරස් නාශක ගුණද ඇත. මෙමගින් මර්දනය වන වෛරස් වර්ග වනුයේ Cytomegalo virus, Epstan bavirus, Influenza virusය. මෙම වෛරස් විනාශ වනුයේ මෙහි අඩංගු Lauric acid නිසාය. මෙහිදී වෛරස්වල ඇති ලිපිඩ ස්තර දිය කරමින් වෛරස් විනාශ කරයි.

පොල්තෙල්වල දිලීරනාශක ගුණ ඇත. පොල්තෙල්වලට Aspergillus, Candida albicans වැනි දිලීර වර්ග නිශේධනය කිරීමේ හැකියාව ඇත. මෙයට හේතු වනුයේද පොල්තෙල්වල ඇති Lauric acid, Capric acid යන අම්ලය. මෙහි යාන්ත්‍රණය ඉහත පරිදිමය.

එසේම ඉඟුරු කොත්තමල්ලි වැනි ඖෂධීය ශාක නිසා සෙම, කැස්ස වැනි පෙණහලු රෝග සුව වනුයේ ඒවායේ අඩංගු ස්වභාවික රසායනික සංයෝගවල ඇති ප්‍රබල ක්ෂුද්‍ර ජීව මර්දන හැකියාව නිසාය.
බොහෝ එළවළු, පළතුරැ සහ ඖෂධීය ශාකවල පණුවන් මර්දනය කිරීමේ හැකියාවද ඇත. මෙලෙස එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල මෙම ක්ෂුද්‍ර ජීව මර්දන හැකියාව විවිධ අයුරින් දක්නට ලැබේ.

 

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
ජාතික රෝහල - වැලිසර