2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

මතකය රකින හැටි!

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

මතක තබාගැනීම කියන්නේ විධිමත් ක්‍රියාවලියකි. ඕනෑම දෙයක් නිසිලෙස මතක තබාගැනීමට එය මොළය තුළට ඇතුළු කරගත යුතුයි. ඉන්පසු නිසි ලෙස ගබඩා කරගත යුතුයි. එලෙස ගබඩා කරගත් තොරතුරැ ඔබට අවශ්‍ය වූ විට යම් ක්‍රමවේදයකට නැවත මතකයට ගැනීමට පුළුවනි.

අපි ඉතා සාර්ථක ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේද භාවිතා කළත් ඒ මතකය අමතක වීමට තවත් මනෝ විද්‍යාත්මක කරැණු රාශියක් බලපාන බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

1. මතකයේ රැඳුන කරුණු ක්ෂය වී යාම. (Decay)

අපේ මතකයේ රැඳුණු තොරතුරු කාලය සමඟ ක්‍රමයෙන් ක්ෂය වී යාහැකිය. මීට ප්‍රධානම හේතුව අලුත් කරුණු මනසට ඇතුළත් වීමයි. මෙය හරියට පුස්තකාලයක පොත් ගබඩා කර තැබීම හා සමානය. පුස්තකාලයේ පොත් රාක්කවල ඉඩ මදි වූ විට පරණ පොත් අයින් කර අලුත් පොත් ඒ අතරට රිංගවයි. අපේ මතකයන් ඒ හා සමානයි.

2. මතක ගබඩාවේ ඇති තොරතුරු එක හා සමාන ස්වරෑපයක් ගන්නා විට නැවත මතකයට ගැනීමේදී අවුල් හෝ පැටලිලි සහිත ස්භාවයක් ඇති වීම. (Interference)

මොළය තුළ තොරතුරැ ගබඩා කිරීමේදී එක හා සමාන තොරතුරැවල තිබෙන සමාන ස්වරූප නිසා ඒවා නැවත මතකයට ගැනීමේදී නිසි ලෙස වෙන් කර ගැනීමට අපහසු වේ. අපි මෙහෙම හිතමු. පුස්තකාලයේ ගබඩා කර ඇති පොත් දෙකක නම් එක හා සමාන ස්වරූපයක් ගන්නා අවස්ථාවක්. එක පොතක නම ගණිත ගැටළු විසඳීම, අනෙක් පොතේ නම “ගණිත ගැටලු අවබෝධ කරගැනීම. පුස්තකාලයේ රාක්කවලින් ඔබට අවශ්‍ය පොත තෝරා ගැනීමේදී මේ පොත් දෙක නම සමාන නිසා පැටලිලි සහගත විය හැකිය.

3. යම් තොරතුරක් මතක ගබඩාවෙන් එළියට ගැනීමට ආසන්න සලකුණක් (Land marks) නොමැති වීම. (Cue – dependent forgetting)

අපි මෙහෙම හිතමු. ඔබේ වාහනයේ යතුර තිබූ තැන ඔබට මතක නෑ. ඔබ හැමතැනම හොයනවා ඔබට හොයාගැනීමට අපහසු වෙනවා. මීට හේතුව ඔබ සොයන ක්‍රමයේ වරදයි. මෙහිදී උදේ කාලයේ සිට ඔබේ කාලසටහන හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ සාමාන්‍යයෙන් යතුර තියන තැන යතුර අවශ්‍ය වුණු අවස්ථා ඒ වෙලාවන්හීදී ඔබ හිටිය තැන්. මේවා ඔබට යතුර හොයා ගැනීමට උදව් වන සලකුණුයි අපේ මතකය තුළ ගබඩා කර ඇති තොරතුරැ එළියට ගැනීමේදීද වැදගත් තොරතුරැවලට අදාළ සලකුණු අර මතකයේ තබාගෙන ඇත්නම් පහසුවෙන් ඊට අදාළ තොරතුරු කාණ්ඩය මනසින් එළියට ගැනීමට පුළුවන.

මතකය  අමතක නොවීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න

1. යමක් පිළිබඳ වැඩිපුර ඉගෙනීම (Overlearning)

මින් අදහස් කරනුයේ ඔබ ඉගෙන ගතයුතු දැනුම් කාණ්ඩය පිළිබඳ ලැබිය යුතු දැනුමට වඩා ඉගෙනීමයි. අපි මෙහෙම හිතමු. ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය මිනිසාගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය කියලා. එවිට කළ යුත්තේ ඔබ පොතේ හෘදය වස්තුව පිළිබඳ තිබෙන දැනුමට වඩා වැඩි දැනුමක් එකතු කිරීමට වෙනත් පොත් කිහිපයක් පරිශීලනය කිරීමයි.

2. ඔබගේ දැනුම නිසි ලෙස සංවිධානය කර මතකයට ඇතුළු කර ගැනීම. (Rely on Organization Cues)

ඔබ මොළයට එකතු කරගන්නා දැනුම අසංවිධානාත්මක වුණ තරමට පහසුවෙන් මතකයෙන් ගිලිහී යයි. යම් දැනුම් කාණ්ඩයක් සංවිධානාත්මක ලෙස මනසට දමා ගැනීමට එහි තිබෙන ඇතැම් කරැණු සංසංදනාත්මකව සංවිධාන කළ යුතුයි. අපි මෙහෙම හිතමු ඔබට බල්ලෙකුගේ ස්වරෑපය හොඳින් මතක තබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මෙයට කළ හැකි දෙය නම් බල්ලාගේ ස්වරෑපය පූසාගේ ස්වරෑපයෙන් වෙනස් වන ආකාරය සංසංදනාත්මකව මනසින් අධ්‍යයනය කරන්න.

3. සාර්ථක ලෙස සටහන් තබා ගැනීම. (Take Effective Note)

ඔබ දේශනයකට ඇහුම්කන් දීමේදී ඉතාම වැදගත් කරුණු පමණක් සටහන් තබාගන්න. සියලුම දේ ලිවීමට යාම අසාර්ථක ක්‍රමයකි. හොඳින් අසා සිටීම ලීවීමට වඩා සාර්ථක ලෙස මතකයට යයි. මේ නිසාම යමෙකුගේ සටහනක් පසුව කියවීම එතරම් හොඳ ක්‍රමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

4. හඬ නගා කියවීම. (Talk To Your Self)

කියවා අවසන් කර ඔබේ පාඩම් නැවත හඬ නගා කියවීම මතක තබා ගැනීමේ සාර්ථක ක්‍රමයකි. මීට හේතුව නම් මෙම මතකය මොළයේ වෙනත් ස්ථානයක ගබඩා වීමයි.

5. ව්‍යායාම ගැනීම. (To Do Exercise)

ඉගන ගැනීමේදී නිසි ලෙස ව්‍යායාම කිරීම මතකය වැඩි කිරීමට බලපාන ප්‍රධාන සාධයකි. මීට හේතුව දැඩි ආතතිය වැඩ කිරීමට අවශ්‍ය මතකයට (Working Memory) බාධා පමුණුවන නිසයි. සාර්ථක ලෙස ව්‍යායාමවල යෙදී විභාගවලට මුහුණ දෙන දරැවකු හොඳ ප්‍රතිඵල අත්කර ගන්න බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

MEMO news