2023 අප්‍රේල් 30 වන ඉරිදා

ලංකාවේ කප් ගහන දියවැඩියාව

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 536

ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ දියවැඩියාව ඉහළ මට්ටමක ඇති රටවල් 7න් එකකි. මෑතකාලීන දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 537ක් සහ දකුණු ආසියා කලාපයේ  මිලියන 90ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බව 2022 අන්තර්ජාතික දියවැඩියා පෙඩරේෂනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 2045 වනවිට මෙය මිලියන 151.5 දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන්ද අනුමාන කැර තිබේ.

ඒ අනුව ලංකාවේ මුළු වැඩිහිටි ජනගහනය 14,406,600කි. වැඩිහිටියන් තුළ දියවැඩියා ව්‍යාප්තිය, 9.8% හෙවත් වැඩිහිටියන් අතර වාර්තාගත සමස්ථ දියවැඩියා රෝගීන් ප්‍රමාණය 2022 අග වනවිට 1,417,600 කි. මේ අතර එම ආයතනයේ 2021 දත්ත අනුව  දියවැඩියා රෝගය ළමුන් ඇතුළු තරුණ වයස් කාණ්ඩයේ පුද්ගලයින්ටද විශේෂයෙන් බලපෑම් කරමින් තිබේ. එය අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ සෞඛ්‍යයට හා සමෘද්ධියට තර්ජනයක් ව ඇත.

ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව කියන්නේ කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණවලට අනුවය. එය 23%ක ප්‍රතිශතයකි. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයකුටද දියවැඩියාව වැළඳී තිබේ. එය 31%ක ප්‍රතිශතයකි. 2019දී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගෙන ඇත.

එසේම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය අනතුරු අඟවා ඇත්තේ මුළු ආසියාවේම දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට ශ්‍රී ලංකාව බවයි. ඉදිරි දශක කිහිපය ඇතුළත මිලියන ගණනින් ශ්‍රී ලංකිකයන් දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකි අතර, එයට අපේ සෞඛ්‍ය පද්ධතියට ඉදිරි වසර කීපය තිස්සේම මුහුණදීමට සිදුවන අනතුරක් බව එය පෙන්වා දෙයි.  

එම ආයතනය සිදුකළ අධ්‍යයනයට අනුව බස්නාහිර, යාපනය ඇතුළු උතුරු නැ‍ගෙනහිර පළාත්වලත් දියවැඩියා අනුපාතිකය වැඩිය. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන සෑම වැඩිහිටියන් තිදෙනකුගෙන් එක් අයකුට (34%) දියවැඩියාව වැළඳී ඇති ඇති බවට එම අධ්‍යයනය පවසයි. මේ දත්ත තහවුරු කර ඇත්තේ තරබාරු පුද්ගලයන් මෙන්ම, නාගරික සැපපහසු ප්‍රදේශවල ජීවත්වන අය දියවැඩියාවට වැඩි වශයෙන් ගොදුරුව ඇති බවය.

මත් මනා අවබෝධයක් අප සමාජය තුළ නැත. එනිසාම මේ රෝගය නොසලකා හැරීමට බොහෝ අය පුරුදුව සිටියි. රට තුළ නොදැනුවත්වම මෙන් රෝගය ව්‍යාප්ත වීමට මෙය හේතුවී තිබේ. නිරෝගී පුද්ගලයකුගේ රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම 100 mg/dlට අඩු වේ. රුධිරයේ සීනි මට්ටම 100-125 mg/dl අතර පැවතීම පූර්ව දියවැඩියා රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැකිය. රුධිරයේ සීනි මට්ටම 126 mg/dlට වඩා පැවතීම දියවැඩියා රෝගී තත්ත්වය ලෙස හඳුනාගත හැකිය.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමට බලපාන හේතු ‍රැසක් තිබේ. එයින් සුලබම හේතු ලෙස ජානමය බලපෑම්, ස්ථූලභාවය, ආතතිය, පිෂ්ඨජනක ආහාර (Carbohydrates) වැඩිපුර පරිභෝජනය, නිසි ශාරීරික ව්‍යායාම්වලට යොමු නොවීම දැක්වේ. රුධිරයට සීනි ලැබෙන්නේ අප ආහාරයට ගන්නා පිෂ්ඨජනක ආහාර ජීර්ණය වීමෙනි. ලේවල සීනි ප්‍රමාණය ඉහළ යෑමෙන් දිවා, රාත්‍රී දෙකේම මුත්‍රා පිටවීම වැඩි වන අතර, දැඩි පිපාසයක්ද ඇති වේ. තෙහෙට්‍ටුව, නිතර කුසගිනි දැනීම, නිදිමත, අප්‍රාණික බව මෙන්ම ශරීරය කෙට්‍ටු වීම මේ නිසා ඇති වේ. දියවැඩියාව ඇති රෝගියකුට වකුගුඩු ආබාධ, හෘද රෝග, ආඝාතය, අන්ධභාවය වැනි රෝගද වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇත. මේ අන්දමේ රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්ය වේ.

එසේම ඔබ පූර්ව දියවැඩියා රෝගී තත්ත්වයේ පසුවන්නකු බව හඳුනාගෙන ඇත්නම් සෑම මාස හයකටම වරක් දියවැඩියා පරීක්ෂණයකට යොමුවීම සුදුසුය. ඔබ දැනටමත් දියවැඩියා රෝගී තත්ත්වයේ පසුවන්නකු ලෙස හඳුනාගෙන ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය නිර්දේශ මත දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්ය වේ. මේ සඳහා සෑම ප්‍රධාන රෝහලකම විශේෂ සායන පවත්වාගෙන යනු ලැබේ. දියවැඩියාව පාලනය සඳහා මහජන උනන්දුව සහ පෞද්ගලික කැපවීම දැඩි ලෙස අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00