2023 ජුනි 04 වන ඉරිදා

තවත් වසංගතයක් අත ළඟ!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 307

► ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා අනතුරු අඟවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් පසුගියදා සමස්ත ලෝකයටම ප්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් කළේ ලෝකය දැන්ම ඊළඟ මහා වසංගතයට සූදානම් විය යුතු බවටය.

COVID-19 ට වඩා “මාරාන්තික හැකියාවක්” ඇති මීළඟ වසංගතය, හෝ අනාගත අලුත් රෝග කාරකය සඳහා හෝ සූදානම් වන්නට දැන් කාලය පැමිණ ඇති බවට, WHO ප්‍රධානියා මේ අනතුරු ඇඟවීමෙන් අවධාරණය කර තිබේ.

“කොවිඩ් සහමුලින්ම අවසන්ව නැත. වෙනත් කොවිඩ් ප්‍රභේදයක තර්ජනය මේ වන විටද මතුවෙමින් පැවතිය හැකි අතර එය අලුත්ම රෝගීන් සහ වැඩි මරණ ප්‍රමාණයකට  හේතු විය හැකිය. එසේම ඊටත් වඩා මාරාන්තික විභවයක් ඇති තවත් නව රෝගකාරකයක් පවා මීළඟට මතුවීමේ තර්ජනය ද පවතී."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියේ 76 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවට සිය වාර්තාව ඉදිරිපත් කරමිනි.

මෙහිදී එළඹෙන්නට නියමිත අනාගත සෞඛ්‍ය හදිසි අවස්ථාවන් COVID-19 වසංගතයට වඩා දරුණු විය හැකි බවට අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා,   එහෙයින් ඊළඟ වසංගතයට දැන්ම, කල් තබාම සූදානම් වන ලෙස ලොව පුරා රටවල්වලින් ඉල්ලා සිටියේය.

COVID-19 අවසානය ගෝලීය සෞඛ්‍ය තර්ජනය නොවන අතර අනාගතයේ එක මත එක පැමිණිය හැකි මෙවන් අඛණ්ඩ වසංගත සහ සෞඛ්‍ය අර්බුද වැනි සියලු ආකාරයේ හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දක්වන ඵලදායී ගෝලීය යාන්ත්‍රණයක් සකසා තිබීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය. 

“ඊළඟ මහා වසංගතය අප වෙත නිසැකවම පැමිණෙයි. එය එසේ එන විට අපි තීරණාත්මකව, සාමූහිකව සහ සාධාරණව ඒ සඳහා පිළිතුරු දීමට සූදානම්ව සිටිය  යුතුය.” යනුවෙන් ඔහු උපදෙස් දුන්නේය. 

2030 දක්වා වූ කාලසීමාවක් වෙන්කර ඇති ලොව තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ වූ සෞඛ්‍ය සම්බන්ධ මෙහෙයුමේදී COVID-19 මැඩලීමේ ප්‍රතිචාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් වෙන්ව ඇති බව ටෙඩ්‍රොස් පැවසීය.

2017 ලෝක සෞඛ්‍ය සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝවැසි බිලියන 3ක් ආවරණය වන සේ ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂණයක් සැපයීම සඳහා වූ අනාගත   ඉලක්ක කරා යන වැඩපිළිවෙළේ ප්‍රගතියට ද කොවිඩ් වසංගතය පු‍ළුල් බලපෑමක් කළ බව ඔහු කියයි.

ඔහු කියන මේ පස් අවුරුදු මූලික ක්‍රියාන්විතයේදී බිලියනයකට විශ්වීය සෞඛ්‍ය ආවරණයක් ලැබීම සහතික කිරීම, දෙවනුව තවත් බිලියනයකට සෞඛ්‍ය හදිසි අවස්ථාවලින් වඩා හොඳින් ආරක්ෂා වීම සඳහා අවස්ථාව සැලසීම සහ තෙවනුව තවත්  බිලියනයකට වඩාත් හොඳ සෞඛ්‍ය සහ යහපැවැත්මක් භුක්ති විඳීම සඳහා ප්‍රතිපාදන  සහතික කිරීමද අයත්ය. කොවිඩ්-19 මේ ක්‍රියාන්විතය කඩිනම් කිරීමට තල්ලුවක් ලබාදුන්නේය.

කොවිඩ් වසංගතය අපව අවුල් කර දැමුවේය. නමුත් ඉහත කී තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අපගේ ආසන්නතම ඉලක්කගත අරමුණු ලෙස පැවතිය යුත්තේ මන්දැයි එය  අපට මනාව පෙන්වා දී ඇත. අපි වසංගතයට එරෙහිව සටන් කළ හදිසිතාවයෙන් හා අධිෂ්ඨානයෙන්ම ඉදිරියේදීත් ඒ මෙහෙයුම් අනුගමනය කළ යුතුව ඇති බව ඔහු අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්හානොම් ගෙබ්රෙයෙසුස්ගේ මෙම අනතුරු ඇඟවීම පැමිණෙන්නේ එම සංවිධානය විසින් COVID -19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව නිල වශයෙන් අවසන් කිරීමෙන් සති කිහිපයකට පසුවය.

අප දැන්ම COVID වලට වඩා “මාරාන්තික හැකියාවක්” ඇති මීළඟ වසංගත හෝ වෙනත් එබඳු අනාගත රෝග කාරක සඳහා මුහුණ දීමට සූදානම් විය යුතු යැයි WHO ප්‍රධානියා අනතුරු අඟවා තිබුණේ එවන් අවස්ථාවකය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 6.9 කට වැඩි පිරිසක් මේ වනවිට  COVID වලින් මිය ගොස් ඇත. COVID වසංගතය “මූලික වශයෙන් පෘථිවියේ සිටින සෑම දෙනාම” වඩා හොඳින් ආරක්ෂා කළ යුතු බව අපට දැඩිව පෙන්නුම් කර දුන් බව වෛද්‍ය ටෙඩ්‍රොස් සඳහන් කළේය.

දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ගෝලීය වසංගත ගිවිසුමක් මත වැඩ කරමින් සිටින අතර, මේ සාකච්ඡා ඉදිරි වසර තුළ දිගටම පැවැත්වීමට නියමිතය. ටෙඩ්‍රොස් පැවසුවේ එය ලෝකය ආරක්ෂිතව තබාගැනීමට වැදගත් මුලපිරීමක් බවයි.

2009 වසරේ සිට ඇමෙරිකානු විද්‍යාඥයන් විසින් නව වෛරස් 900කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පසුගිය වසරේ වාර්තා විය. වවුලන් වැනි සතුන් ආශ්‍රිතවය. ස්වාභාවිකව වවුලන් වෙසෙන වාසස්ථාන මිනිසුන් විසින් ආක්‍රමණය කිරීමෙන් අනාගතයේ ‌කොවිඩ් පරදන මට්ටමේ එක් විභව තර්ජනයක් පැමිණීමට හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ. එවැනි හමුවීම් වවුලන්ගෙන් මිනිසුන්ට රෝගකාරක සම්ප්‍රේෂණය වීමේ, මිනිසුන් තුළට පැනීමේ අවදානම වැඩි කරන බවට  ප්‍රවීණයෝ අනතුරු අඟවති. එය අනාගත වසංගතවල ආරම්භයට තුඩු දිය හැකිය.

මෙලෙස ගෝලීය ආර්ථික පද්ධතිය සහ ස්වභාවධර්මය අතර මතුව ඇති "සටනක්" හේතුවෙන් බිලියන 1 කට වැඩි ජනතාවක් අවදානමට ලක්ව ඇති බව රොයිටර්ස් හි   නියෝජ්‍ය කර්තෘ රයන් මැක්නීල් CBS ප්‍රවෘත්ති සේවයට කියා තිබුණි. බටහිර අප්‍රිකාවේ, පුද්ගලයන් 5 දෙනකුගෙන් 1 අයකු ජීවත් වන්නේ විෂබීජ මිනිසුන් වෙත පැනීමේ හැකියාව ඇති අධි අවදානම් "ජම්ප් කලාපයක" බව ඔහු පෙන්වා දී තිබේ. විද්‍යාඥයන් ඒ කලාපය විස්තර කරන්නේ වවුලන්ගෙන් මිනිසුන්ට වෛරස් පැනීමේ වැඩි සම්භාවිතාවක් ඇති ප්‍රදේශ ලෙසය. අග්නිදිග ආසියාවේ කොටස් ද සැලකිලිමත් විය යුතු ප්‍රදේශ වේ. දකුණු ඇමෙරිකාවේ වනාන්තර විනාශය ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා වැඩි අවදානම් සහිත ප්‍රදේශ නිර්මාණය කර ඇති බවද මැක්නීල් පෙන්වා දී තිබුණි. “එම කලාපය ගැන විද්‍යාඥයන් බිය වන අතර ඊළඟ වසංගතය එහි මතුවිය හැකිය,” ඔහු පැවසීය.

මේ අතර විශේෂිත බෝවන රෝග අතළොස්සක් ගැන 

පර් යේෂණ කිරීම කෙරෙහි වැඩි  අවධානය යොමු කරන ලෙස WHO මැතකදී ඉල්ලා තිබුණි. Ebola, Marburg, Lassa fever, Nipah සහ Zika වෛරස් ඇතුළු මෙම රෝග කාරක ඔවුන්ගේ ඉහළ වසංගත විභවය නිසා ඊළඟට විශාලතම මහජන සෞඛ්‍ය තර්ජනයකට හේතු විය හැකි බවට සංවිධානය අවධාරණය කර ඇත.

I සුගත්