2023 ජුනි 17 වන සෙනසුරාදා

ලොව ලොකුම වකුගඩු ගලේ සැඟවුණු කතාව!

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 376

වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගුම ගල සම්බන්ධ ගිනස් වාර්තා 2 ක්  ලංකාවට හිමිව තිබේ. මේ සුවිශේෂී ගල සැත්කමකින් ඉවත් කරමින් නව ගිනස් වාර්තාවන්ට මඟ පෑදුවේ කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයයි.

ප්‍රතිකාර සඳහා යොමුවීමට පෙර වසර ගණනාවක කාලයක් මේ ගල දරාගෙන සිට ඇත්තේ හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු වන සී. කැනිස්ටස් ය. ඔහුට 2019 පමණ සිට මේ හේතුවෙන් විවිධ කැක්කුම් සහ අපහසුතා මතුව තිබූ අතර විවිධ ප්‍රතිකාර සඳහා යොමුව තිබුණි. පසුව ඔහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා යුද හමුදා රෝහල වෙත පැමිණ ඇත්තේ මැයි මාසයේදීය. මේ ගමනේදී කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් හමුවීමට ඔහුට හැකියාව ලැබුණු අතර එහිදී වහාම රෝගය නිවැරදිව හඳුනා ගැනීම සිදුව තිබුණි. එහිදී ලැබුණු උපදෙස් අනුව කළ ස්කෑන් පරීක්ෂණවලදී  හිටපු යුද හමුදා කෝප්‍රල් සී. කැනිස්ටස් මහතාගේ දකුණු වකුගඩුවේ තිබූ මේ විශාල ගල පිළිබඳ අනාවරණය වී තිබුණි. පසුව මේ සඳහා ඉතා අසීරු සහ අවදානම් සැත්කමක් සිදු කිරීමට ශෛල්‍ය වෛද්‍ය කණ්ඩායමට හැකි විය. දැන් කැනිස්ටස් මහතා සුවය ලබමින් සිටින අතර තවත් පරීක්ෂණ කිහිපයක් ඉදියේදී සිදු කිරීමට ඇති බවත් ඒවායේ තත්ත්වය අනුව වකුගඩු දෙකම නිරුපද්‍රිතව ක්‍රියාත්මක වන බව තහවුරු කරගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන් “දේශය’ සමඟ අදහස් දක්වමින් පැවසීය.

මේ සමඟම විශේෂඥ වෛද්‍ය සුතාර්ෂන් අපූරු සුවිශේෂී පණිවුඩයක්ද ජනතාව වෙත ලබා දීමට අමතක නොකළේය. 

ඔහුට අනුව ලංකාව ආශ්‍රිතව වෙසෙන අපට වකුගඩු ගල් සෑදීමේ ඉහළ ප්‍රවණතාවක් තිබේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ උතුරුමැද ආශ්‍රිතව වෙසෙන සහ ඒ ප්‍රදේශවල සේවයේ යෙදෙන අයට මේ අවදානම ඉහළය. ඒ නිසාම මෙවන් අසාමාන්‍ය වේදනාවක් කැක්කුමක් වැනි රෝග ලක්ෂණයක් සුළුවෙන් හෝ හටගත් විට වහාම විශේෂඥ වෛද්‍යවරයකුගේ අවධානය ලබා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එවිට මෙබඳු සුවිශාල ගල් සෑදීමේ අවස්ථාව මෙන්ම අසීරු සැත්කම් සඳහා මුහුණ දීමට සිදුවන අවස්ථාද වැළකී යයි.

“මේ ගැන කරපු ස්කෑන් පරීක්ෂණයේදීම අපි දැනගත්තා මේක වාර්තාගත ලෙස විශාල ගලක් විය හැකි බව. නමුත් ‍ෙශෙල්‍යකර්මයෙන් පසුව කළ මිණුම්වලින් තමා අවබෝධ වුණේ මෙය ගිනස් පොතට යන වාර්තා දෙකක්ම තබා ඇති බව, දිගම ගල සහ ලොකුම ගල හැටියට. නමුත් මේ සිද්ධියේ ඇති වැදගත්ම දේ මේ වාර්තා දිනා ගැනීම නොවේ.  අපේ මිනිස්සු ලෙඩරෝග, කැක්කුම් ආදිය නොසලකා හැර කොයි තරම් නම් කාලයක් ගොඩ වෙදකම් කරමින්, දුක් විඳිමින් ඉන්නවාද කියන එකයි. මේ කෝප්‍රල් උතුරුමැද වැඩි කාලයක් සේවයේ සිටි අයෙක්. මේ නිසා ඒ පළාතේ ජලයේ ඇති නුසුදුසු බව නිසා මේ වගේ රෝගයකට ගොදුරුවීමේ අවස්ථාව ඉහළයි. ඔහුත් හුඟ කාලයක් මේ වේදනා සමඟ විවිධ බෙහෙත් අරන් ඒ ගැන වැඩි තැකීමක් නොකර ඉඳලා තියෙනවා. එහි ප්‍රතිඵලය තමා මේ සුවිශාල ගල. දැන් ලංකාවේ සෑම ප්‍රධාන රෝහලකම මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒ අය වහාම හමුවෙලා මේ වගේ තත්ත්ව අසාධ්‍ය වනතුරු නොසිට ඉක්මනින්ම කලින්ම හඳුනාගෙන වහාම ප්‍රතිකාර ගන්න කියන එකයි මේ අවස්ථාවේ ජනතාවට කිව යුතුව තියෙන වැදගත්ම පණිවුඩය”  

ඔවුන් ජූනි 01දා ඉවත් කළ ගල දැන් කවුරුත් දන්නා පරිදි සෙන්ටිමීටර් 13.372 ක දිගින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත එකකි. ගිනස් ලෝක වාර්තාවන්ට අනුව වකුගඩුවක් ආශ්‍රිතව තිබූ ලොව දිගුම ගල ඉකුත් 2004 වර්ෂයේදී ඉන්දියාවේදී කරන ලද ශෛල්‍යකර්මයකදී ඉවත් කර ඇති අතර එය දිගින් සෙන්ටිමීටර් 13 කි. බරින් වැඩිම වකුගඩු ගල 2008 වර්ෂයේදී පාකිස්තාන වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ ශෛල්‍යකර්මයකදී ඉවත් කර ඇති අතර එහි බර ග්‍රෑම් 620 ක් ලෙස වාර්තා වී ඇත. 

මේ අනුව කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ශෛල්‍යකර්මයේදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට මෙම යුද හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබුණි.

යාපනය සෙන්ට් ජෝන් විදුහලේ මූලික අධ්‍යාපනය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර පීඨයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා කොළඹ සරසවියෙන් පශ්චාද් උපාධි දිනා ලන්ඩනයේ කින්ග්ස් කොලිජියෙන් පුහුණුව ලබා සුදුසුකම් සපුරා ගත් කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී, මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුතාර්ෂන්, ප්‍රධාන කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී. පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශෛල්‍යකර්මය සිදු කර තිබුණි.

මේ සඳහා නිර්වින්දන වෛද්‍යවරු ලෙසින් කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී. පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස්. අබේසිංහ කටයුතු කළහ.

මෙම ශෛල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ගල යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් පී.ඒ.සී. ප්‍රනාන්දු සහ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති රෝග අංශයේ ප්‍රධානී ලුතිනන් කර්නල් (විශේෂඥ වෛද්‍ය) කේ. සුතර්ෂන් විසින් යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත ඉදිරිපත් කළහ. ගිනස් පොතට එය ගියේ ඉන් පසුවය. 

I සුගත් පී. කුලතුංග ආරච්චි