2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ලංකාවේ 1/4කට දියවැඩියාව!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 365

ශ්‍රී ලංකාව තුළ දියවැඩියා රෝගය දිනෙන් දින ඉහළ වේගයකින් පැතිර යන බව පසුගිය කාලය තුළ සිදුකරන ලද සමීක්ෂණ සහ සංගණන ගණනාවක්ම තහවුරු කර තිබේ. කලින්ම හඳුනාගෙන නිසි ලෙස පාලනය කළ හැකි මේ අන්තරාසර්ග පද්ධතිය මූලික කරගත් රෝගය එසේ පාලනය නොකළ විට නොයෙකුත් දැඩි සංකූලතා ඇති කරයි. මේ නිසා එය දැඩි අවදානයක් යොමු කළ යුතු සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ගැටලුවකි.

දියවැඩියාව පාලනය නොකළහොත්, රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම, දෘෂ්ටිවිතානයට හානිවීම හා අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම, කුඩා රුධිර වාහිනීවල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීන වී යාම හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත් කිරීමට පවා සිදුවිය හැක. මේ නිසා එය භයානක රෝග තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල පසුගිය කාලයේ කළ සමීක්ෂණයක් හෙළිදරව් කර ඇත‍. එය 23% ක ප්‍රතිශතයකි. එයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී තිබේ. එය 31% ක ප්‍රතිශතයකි. 2019 දී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන් දෙනකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගෙන ඇති බව සනාථ වී තිබේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ දියවැඩියාව ඉහළ මට්ටමක ඇති රටවල් 7න් එකකි. මෑත කාලීන දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 537ක් සහ දකුණු ආසියා කලාපයේ මිලියන 90ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බව 2022 අන්තර්ජාතික දියවැඩියා පෙඩරේශනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 2045 වන විට මෙය මිලියන 151.5 දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් අනුමාන කර තිබේ.

ලංකාවේ මුළු වැඩිහිටි ජනගහනය 14,406,600 කි. වැඩිහිටියන් තුළ දියවැඩියා ව්‍යාප්තිය, 9.8% ක් හෙවත් වැඩිහිටියන් අතර වාර්තාගත සමස්ත දියවැඩියා රෝගීන් ප්‍රමාණය 2022 අග වන විට 1,417,600 කි. මේ අතර එම ආයතනයේ 2021 දත්ත අනුව දියවැඩියා රෝගය ළමුන් ඇතුළු තරුණ වයස් කාණ්ඩයේ පුද්ගලයන්ටද විශේෂයෙන් බලපෑම් කරමින් තිබේ. එය අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ සෞඛ්‍යයට හා සමෘද්ධියට තර්ජනයක්ව ඇත.

එසේම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය අනතුරු අඟවා ඇත්තේ මුළු ආසියාවේම දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට ශ්‍රී ලංකාව බවයි. ඉදිරි දශක කිහිපය ඇතුළත මිලියන ගණනින් ශ්‍රී ලාංකිකයන් දියවැඩියාවට ගොදුරුවීම වැළැක්විය නොහැකි අතර, එයට අපේ සෞඛ්‍ය පද්ධතියට ඉදිරි වසර කිහිපය තිස්සේම මුහුණ දීමට සිදුවන අනතුරක් බව එය පෙන්වා දෙයි.  

එම ආයතනය සිදු කළ අධ්‍යයනයට අනුව බස්නාහිර, යාපනය ඇතුළු උතුරු නැ‍ගෙනහිර පළාත්වලත් දියවැඩියා අනුපාතිකය වැඩිය. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන සෑම වැඩිහිටියන් තිදෙනකුගෙන් එක් අයකුට (34%) දියවැඩියාව වැළඳී ඇති ඇති බවට එම අධ්‍යයනය පවසයි. මේ දත්ත තහවුරු කර ඇත්තේ තරබාරු පුද්ගලයන් මෙන්ම, නාගරික සැප පහසු ප්‍රදේශවල ජීවත් වන අය දියවැඩියාවට වැඩි වශයෙන් ගොදුරුව ඇති බවය.

මේ රෝගය සම්බන්ධයෙන් තවමත් මනා අවබෝධයක් අප සමාජය තුළ නැත. එනිසාම මේ රෝගය නොසලකා හැරීමට බොහෝ අය පුරුදුව සිටිති. රට තුළ නොදැනුවත්වම මෙන් රෝගය ව්‍යාප්ත වීමට මෙය හේතු වී තිබේ. නිරෝගී පුද්ගලයකුගේ රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම 100mg/dl ට අඩු වේ. රුධිරයේ සීනි මට්ටම 100-125mg/dl අතර පැවතීම පූර්ව දියවැඩියා රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැකිය. රුධිරයේ සීනි මට්ටම 126mg/dl ට වඩා පැවතීම දියවැඩියා රෝගී තත්ත්වය ලෙස හඳුනාගත හැකිය.
රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට බලපාන හේතු ‍රැසක් තිබේ. එයින් සුලබම හේතු ලෙස ජානමය බලපෑම්, ස්ථූලභාවය, ආතතිය, පිෂ්ඨ ජනක ආහාර (Carbohydrates) වැඩිපුර පරිභෝජනය, නිසි ශාරීරික ව්‍යායාම්වලට යොමුනොවීම දැක්වේ. රුධිරයට සීනි ලැබෙන්නේ අප ආහාරයට ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වීමෙනි. ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාමෙන් දිවා, රාත්‍රී දෙකේම මුත්‍රා පිටවීම වැඩිවන අතර, දැඩි පිපාසයක්ද ඇති වේ. තෙහෙට්‍ටුව, නිතර කුසගිනි දැනීම, නිදිමත, අප්‍රාණික බව මෙන්ම ශරීරය කෙට්‍ටුවීම මේ නිසා ඇති වේ. දියවැඩියාව ඇති රෝගියකුට වකුගුඩු ආබාධ, හෘද රෝග, ආඝාතය, අන්ධභාවය වැනි රෝග ද වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇත. මේ අන්දමේ රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්ය වේ.

එසේම ඔබ පූර්ව දියවැඩියා රෝගී තත්ත්වයේ පසුවන්නකු බව හඳුනාගෙන ඇත්නම් සෑම මාස හයකටම වරක් දියවැඩියා පරීක්ෂණයකට යොමුවීම සුදුසුය. ඔබ දැනටමත් දියවැඩියා රෝගී තත්ත්වයේ පසුවන්නකු ලෙස හඳුනාගෙන ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ වෛද්‍ය නිර්දේශ මත දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්ය වේ. මේ සඳහා සෑම ප්‍රධාන රෝහලකම විශේෂ සායන පවත්වාගෙන යනු ලැබේ. දියවැඩියාව පාලනය සඳහා මහජන උනන්දුව සහ පෞද්ගලික කැපවීම දැඩි ලෙස අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00