මේ දිනවල ජනතාව අතර බහුලව පැතිර යන රෝගය වෛරස් උණ රෝගයක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සහ කැස්ස එහි රෝග ලක්ෂණ අතරට ඇතුළත්ය. මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයි ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර වැස්සත් සමඟ ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සාව ද හිස ඔසවා ඇති බව සෞඛ්‍ය අංශ කියයි. මේ රෝග සියල්ල ශ්වසන පද්ධතිය ඔස්සේ බෝවන නිසා මුව ආවරණ පැළඳීම විශේෂයෙන් සෙනග බහුල තැන්වලදී ඉතා වැදගත් බව අවධාරණය කර ඇත. මෙයින් ඩෙංගු නිසි ප්‍රතිකාර නොලදහොත් භයානක විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයෙන් ඩෙංගු උණ රෝගය වෙන්කර හඳුනා ගන්නේ මෙසේය.
ඕනෑම වෛරස් රෝගයක මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ සමානය. ඕනෑම වෛරස් රෝගයක උණ, හිසරදය, ඇඟපත වේදනාව තිබේ. නමුත් ඩෙංගු රෝගයේ තිබිය හැකි මූලික ලක්ෂණ වන්නේ දින 2-7 අතර කාලයක තද උණ, තද හිසරදය, ඇස් යට වේදනාව, හන්දිපත් වේදනාව (මස්පිඬු සහ හන්දි වේදනාව ලෙස) යන ඒවාය. ඩෙංගු උණ විවිධ තත්ත්වවලින් පවතී. සාමාන්‍ය උණ, ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු කම්පන තත්ත්වය, සංකීර්ණ ඩෙංගු ලෙස ඒවා වර්ග කළ හැකිය. ඩෙංගු රෝගයේ අවදානම් රෝග ලක්ෂණ ඇතිවන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී හෝ ඩෙංගු කම්පන තත්ත්වයේදීය. එහිදී මතුවන රෝග ලක්ෂණ වන්නේ නොනවත්වා පවතින වමනය, අධික උදර වේදනාව, රුධිර වහනය සිදුවීම, (විදුරුමස්, වමනය, මළපහ සමඟ, යෝනි මාර්ගයෙන්) නිද්‍රාශීලී බව සහ නුරුස්නා ස්වභාවයයි. කුඩා දරුවන් නම් එකදිගට ආහාර ප්‍රතික්ෂේප කිරීම, වෙනදාට වඩා හැසිරීම් වෙනස් වීම ආදියයි. ඩෙංගු රෝගියකුගේ උණ අඩු වුණත් අනිත් රෝග ලක්ෂණ වෙනස් වන්නේ නැත. පැය 4-6 අතර කාලයක් පුරා මුත්‍රා පිට නොවීමත් දකින්නට හැකිය. මේවා ඩෙංගු රෝගියකුගේ අවදානම් රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නට හැකිය. මෙවැනි අවදානම් රෝග ලක්ෂණ පෙන්වද්දී අනිවාර්යෙන්ම රෝහලකට යා යුතු අතර එසේ නොමැති නම් වහාම වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතිය යුතුය.
ඩෙංගු රෝගය සඳහා නිවසේදී ප්‍රතිකාර ගන්නේ නම් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් පහත දැක්වේ.රෝගියකු රෝහලට ගිය පසු රෝග ලක්ෂණ විමසීමට ලක් වෙයි. එමෙන්ම පරීක්ෂණාගාර වාර්තා පරීක්ෂාවට ලක් වෙයි. රෝගියා නිවසට යවා වරින් වර ගෙන්වාගෙන පරීක්ෂා කළ හැකි මට්ටමක සිටිනවාද යන්න හෝ රෝහල්ගත කරනවාද යන්න ඉන්පසු වෛද්‍යවරයා තීරණය කරයි. රෝගියා නිවසේදී ප්‍රතිකාර ගන්නවා නම් රෝගියාව රැකබලා ගත යුතු අන්දම වෛද්‍යවරුන් පවුලේ අයට පැහැදිලි කරනු ඇත.
ප්‍රධානම කාරණාව නැවත රෝහලට පැමිණිය යුතු අවස්ථාවයි. රුධිර පරීක්ෂණයක් කරන්නට පැය 12 කින් හෝ පැය 24 කින් පැමිණෙන්නට උපදෙස් ලැබෙනු ඇත. එය පිළිගැනීම ඉතාම වැදගත් වේ. රෝගියාගේ බර අනුව සහ රෝග ලක්ෂණවලට ගැලපෙන ආකාරයට නිසි දියර ප්‍රමාණ ලබා දෙන්නට නිර්දේශ කරයි. පැයකට ලබා දිය යුතු දියර ප්‍රමාණය ඒ අනුව විස්තර කෙරේ. ඩෙංගු රෝගයේ දී ප්‍රධාන වශයෙන් සිදු කරන කාරණයක් වන තරල කළමනාකරණය වීම එයට හේතුවයි. ඩෙංගු වෛරසයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ වෛරස් ආසාදනය වූ පසු රුධිර නාලවල ඇති පාරගම්‍යතාවය වැඩි වී ඇතුළත තිබිය යුතු තරල ඇඟේ ඇති කුහරවලට ගමන් කිරීමයි. ඩෙංගු රක්තපාත සහ කම්පන තත්ත්වයේදී සිදුවන්නේ එයයි. එය භයානක තත්ත්වයකි. එය ඇතිවීම වළක්වා ගන්නට පිටතින් දෙන දියර ප්‍රමාණය මෙන්ම ඇඟෙන් පිටවෙන දියර ප්‍රමාණයත් අප නිවැරදිව කළමනාකරණය කරගත යුතුය. ඒ නිසා රෝගියාගේ බරට ගැලපෙන පරිදි දියර ලබා දිය යුතුය. ඒ උපදෙස නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුමය. දියර යනු වතුර පමණක්ම නොවෙයි. ලවණ මිශ්‍රිත දියර ලබා දීම වැදගත්ය. ජීවනී, තැඹිලි, බැදි හාල් කැඳ, පළතුරු යුෂ වැනි දේ ලබා දෙන උපදෙස්වලට අනුව නියමිත ප්‍රමාණයෙන් ලබාදීම වැදගත්ය. පැයකට ලබා දිය යුතු දියර ප්‍රමාණය මිලි ලීටර් සියයක් නම් එයට ජීවනී, ජලය සහ ලබා ගන්නා සියලුම දියර ඇතුළත් වෙයි. රතු පැහැ දියර වර්ග ලබා ගැනීමෙන් වැළකිය යුතුය. රුධිර වහනයක් සිදුවෙනවා නම් එය සොයා ගන්නට එවිට අපහසු වන බැවිනි. එමෙන්ම පිට කරන මුත්‍රා ප්‍රමාණය මැනිය යුතු වෙයි. එය සිදු කරන්නේ තරල කළමනාකරණය කර ගැනීම උදෙසාය. රෝගියා දැඩි ලෙස විවේක ගැනීම අනිවාර්ය වෙයි. ඇඟ වෙහෙස වූ විට රෝගයේ ඇති සංකූලතා නිවැරදිව හඳුනා ගන්නට අපහසු වනු ඇත. උණ පාලනයට පැරසිටමෝල් ලබාගත යුතුය. නියමිත මාත්‍රාව සහ කාලය අනුව ලබාගත යුතු වන්නේ පැරසිටමෝල් පමණි. වෙනත් වේදනා නාශක ලබාගැනීම නොකළ යුතුය. එසේ ලබා ගැනීමෙන් ඩෙංගු රක්තපාතය අභ්‍යන්තර රුධිර වහනය සිදුවී සංකූලතා ඇති වී ජීවිතය පවා අහිමිවීමේ ඉඩක් පවතී. එනිසා ඖෂධ ලෙස කිසිදු අත්බෙහෙතක් හෝ කිසිවක්ම ලබාගත යුතු නොවේ. ඉහත උපදෙස් කුඩා දරුවන්ට ද පොදු කාරණාය. ඊට අමතරව මඳ රස්නය ජලයෙන් රෙදි කඩක් පොඟවා කිහිලි, ඉකිලි, නළල ආදියේ තෙත මාත්තු කිරීම සුදුසුය. දරුවන්ට ලබා දෙන පැරසිටමෝල් මාත්‍රාව වෙනස්ය. නමුත් ඔවුන්ට ද නියමිත මාත්‍රාවෙන්, නියමිත ප්‍රමාණයෙන් එය ලබා දිය යුතුමය.
මේ දිනවල පැතිර යන සාමාන්‍ය වෛරස් උණ රෝගවලදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට පොදු ලක්ෂණ සාපේක්ෂව වැඩිය. උදාහරණයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා හෝ කොවිඩ් 19 වැනි රෝග ලෙස එම වෛරස් උණ රෝග මතු වීමට හැකිය. නමුත් ඉහත රෝග ලක්ෂණවලින් ඒවා සහ ඩෙංගු රෝගය වෙන්කර හඳුනා ගන්නට හැකියාව පවතී.
කෙසේ වුවද මේ ඕනෑම රෝගයකදී අවදානම් රෝග ලක්ෂණ මතු වෙමින් පවතින බව පෙනෙයි නම් වහාම වෛද්‍යවරයකු වෙත යාම කළ යුතුමය. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලට යාමය.
ඉන්ෆ්ලුවෙන්සාව යනු වෛරසයකින් බෝවන රෝගයකි. කතා කිරීමේදී, සිනාසීමේදී, කිවිසුම් යැවීමේදී සහ කැස්ස හරහා පිටවෙන කෙළ බිඳිති, හොටු මගින් මේ රෝගය පැතිර යාමේ අවදානමක් තිබේ.
උණ, කැස්ස, උගුරේ වේදනාව සහ නාසයෙන් සොටු දියර ගැලීම ඉන්ෆ්ලුවෙන්සාවේ මූලික රෝග ලක්ෂණය. එමෙන්ම රෝගය උත්සන්න වීමේදී හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ හෝ උදර ප්‍රදේශයේ කැක්කුම සහ බර ගතිය, එකදිගට පවතින වමනය සහ කරකැවිල්ල වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නට හැකිය.
ළදරුවන් කිරි උරා බීමෙහි අඩුවක් පෙන්නුම් කිරීම, දියර වර්ග පානය කිරීමේදී අපහසුතාවක් පෙන්වීම, මුත්‍රා පිටවීම අඩුවීම සහ නොසන්සුන් බව වැනි ලක්ෂණ කුඩා දරුවන් අතරින් දිස්වෙයි නම් එයද මේ රෝගයේ පූර්ව ලක්ෂණයක් විය හැකිය. එවැනි ලක්ෂණ අවධානයට ලක්වුණු වහාම වෛද්‍ය උපදෙස් පතන්නට සිහියට ගත යුතුය. අනතුරුදායක ලක්ෂණ මතුව ඇත්නම් වහාම රෝහලක් කරා යාම එකම පිළියමයි.
• සුගත් පී. කුලතුංගආරච්චි