ලෝකය පුරා මෙන්ම දැන් ලංකාව තුළ ද සැඟවුණු මාරකයක් හීන්සීරුවේ ජීවිත බිලිගනිමින් ශීඝ්‍රව පැතිර යයි. ඒ සියවස් ගණනාවක් තිස්සේ මිනිසා මුහුණදෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන පිළිකා රෝගයයි. 2018 සිටම ලංකාව තුළ පිළිකා පැතිරීමේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය කර ඇත. 2018 වසරේ අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් 23,530 ක විස්මිත සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පිළිකා ආශ්රිත මරණ 14,013 ක්ද වාර්තා විය. 2023 දී නව පිළිකා රෝගීන් 33000 කට වැඩි පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 19000 ක් තරම් විය.
ඉහත දත්ත මගින් කළ පුරෝකථන අනුව 2030 වසර දක්වා පිළිකා රෝගීන්ගේ අපේක්ෂිත වාර්ෂික වර්ධනය 23% ක පමණ වූ තියුණු වැඩිවීමක් විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පිළිකා සම්බන්ධ අන්තර්ජාතික දත්ත එකතුව වන GLOBOCAN විසින් ශ්‍රී ලංකාව සඳහා සපයන ලද ඇස්තමේන්තුවලට අනුව පිළිකා ආශ්රිත රෝගාබාධ සහ මරණ අනුපාතය ජාතියේ සෞඛ්‍ය ක්ෂේත්රය මත අසුබවාදී ආතතියක් මතුකර තිබේ.
මෑතකදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා ඒජන්සිය, හෙවත් පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය (IARC) රටවල් 115 ක පිළිකා සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගෝලීයව 2022 දී නව පිළිකා රෝගීන් මිලියන 20 ක් සහ මරණ මිලියන 9.7 ක් ඇස්තමේන්තු කර ඇත. පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර 5 ක් තුළ ජීවත් වූ පුද්ගලයන්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව මිලියන 53.5 කි. පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පිළිකා ඇතිවන අතර, ආසන්න වශයෙන් පිරිමින් 9 දෙනකුගෙන් එක් අයෙක් සහ කාන්තාවන් 12 දෙනකුගෙන් එක් අයෙක් මෙම රෝගයෙන් මිය යති. මේ අනුව ලෝකයේ ප්‍රධානතම මාරක ගැටලුව බවට තවමත් පිළිකාව පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා සනාථ කර හමාරය.
GLOBOCAN නව දත්ත වාර්තාවලට අනුව 2022 දී පෙනහළු පිළිකාව ලොව පුරා, බහුලව හඳුනාගත් පිළිකාව විය. නව රෝගීහු මිලියන 2.5 ක් වෙති. කාන්තා පියයුරු පිළිකා දෙවැනි ස්ථානයට පත්ව ඇත. ඒ මිලියන 2.3 කි. ඉන්පසු මහා බඩවැලේ පිළිකාය. ඒ මිලියන 1.9 කි. පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඊළඟටය. ඒ මිලියන 1.5 කි. ආමාශ පිළිකා ඊළඟටය. ඒ 970,000 කි.
මාරාන්තික බව අනුව 2022 දී පෙනහළු පිළිකා මරණ මිලියන 1.8 කි. එය සමස්ත පිළිකා මරණවලින් 18.7 කි. දෙවැනි ප්‍රධානතම හේතුව වූයේ මහා බඩවැලේ පිළිකාය. ඒ මරණ 900 කි. අක්මා පිළිකා නිසා මරණ 760,000 කි. පියයුරු පිළිකා මරණ 670,000 කි. ආමාශ පිළිකා මරණ 660,000 කි. පෙනහළු පිළිකාව වඩාත් සුලබ පිළිකාව ලෙස නැවත මතුවීම ආසියාවේ අඛණ්ඩ දුම්කොළ භාවිතය හා සම්බන්ධ විය හැකිය.
2022 දී ඇස්තමේන්තු කර ඇති අයුරු කාන්තාවන් සඳහා බහුලව හඳුනාගත් පිළිකාව සහ පිළිකා මරණයට ප්‍රධාන හේතුව පියයුරු පිළිකාව වන අතර එය පිරිමින් සඳහා පෙනහළු පිළිකාව විය. බොහෝ රටවල කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව පියයුරු පිළිකාවයි. ඒ අනුව පිරිමි සහ ගැහැනු පිළිකා මරණ සඳහා වඩාත් පොදු හේතු වූයේ පෙනහළු පිළිකාය. එය මිලියන 2.48 ක් සහ පියයුරු පිළිකා මිලියන 2.30කි.
පිරිමින් සඳහා පුරස්ථි ග්‍රන්ථියේ සහ මහා බඩවැලේ පිළිකා බහුලව වාර්තා වන පිළිකා අතර පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ ඇති අතර, අක්මාව සහ මහා බඩවැලේ පිළිකා, පිළිකා මරණ සඳහා දෙවැනි සහ තුන්වැනි වඩාත් පොදු හේතු විය.
කාන්තාවන් සඳහා පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා නව රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව යන වාර්තා දෙකෙහිම දෙවැනි හා තෙවැනි ස්ථානයේ විය.
ලංකාවේ පිළිකා වර්ධනයට මූලිකවම වගකිව යුතු සාධක ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මත්පැන් සහ දුම්කොළ භාවිතයත්, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවත්ය. මෙරට තුළ වසරකදී 3,50,000 ක් උපදින විට 1,40,000 ක්ම මියයන බව වාර්තා වෙයි. ඒ මියයන සංඛ්‍යාවෙන් 10% ක් එනම්, 14,000 ක්ම පිළිකා රෝගීන් වීම අතිශය ඛේදජනක තත්ත්වයකි. එහෙත් මෙම පිළිකා මරණ අතුරින් 1/3 ක්ම වැළැක්විය හැකිවන බවත්, එදිනෙදා ජීවන රටාවේ සිදු කරගත හැකි යහපත් චර්යාමය හේතු මගින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
පිළිකා දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ලංකාවේ ද කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය පියයුරු ආශ්රිත පිළිකා බවය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා දෙවැනි තැනට බහුලත්වයක් දක්වයි. ගැබ්ගෙල පිළිකා සහ ගුද පිළිකා ද, ඒ හා සමානවම ඩිම්බකෝෂ ආශ්රිත පිළිකාද පිළිවෙළින් බහුලව පැතිර තිබේ. ලංකාව සහ ඉන්දියාව ප්රමුඛ කලාපයේ මුඛ පිළිකාව බහුලය. අප රටේද පිරිමින් අතර බහුලම පිළිකා තත්ත්වය මුඛ පිළිකාය. ඉන්පසු දෙවැනි තැන ගෙන ඇත්තේ පෙනහළු ආශ්රිත පිළිකාය.
ආහාර මාර්ගයේ ඉහළ කොටස ආශ්රිත පිළිකා මෙන්ම පහළ කෙළවර ආශ්රිත පිළිකා ඊළඟට පිළිවෙළින් බහුලය. ලියුකේමියා තත්ත්වය බහුලව ඇත්තේද පිරිමින් තුළය. පිරිමින් අතර පුරස්ථ ග්‍රන්ථි පිළිකාව ද ඉහළය. මෙම වාර්තාවට අනුව මෙරටින් අලුතෙන් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 29,604 කි. ඒ අනුව එය දිනකට පිළිකා රෝගීන් 81.10 ක් තරම් වූ වර්ධන වේගයකි. මරණ සංඛ්‍යාව 16,691 කි. එනම් දිනකට මරණ 45 කට ආසන්න භයානක තත්ත්වයකි. ඊට පෙර වසරේ දිනකට රෝගීන් 64 ක් වාර්තා වූ අතර මරණ 38 ක් විය. දැන් මේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිය.
පිළිකාව වැළැක්වීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව සිදුකළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස බොහෝ දේ සිදුකළ යුතුව ඇත. එහිදී ජනතාවගේ කැපවීමද ප්‍රධානය.
වායු දූෂණයද මෙරට පිළිකා ඇතිවීම කෙරෙහි තදින්ම බලපාන බවත්, මිනිසුන් විසින් පොලිතීන් පිළිස්සීමද ඊට ප්‍රධානතම සාධකයක් වන බවත්, ඉන් ඇතිවන විෂ වායු වායුගෝලයට මුදාහැරීම නිසා පිළිකා වැළඳීමේ ඉඩකඩ ඉතා වැඩි බවත් මෙහිදී අවධානයට ගත යුතුය. කෘත්‍රිමව සැකසූ ආහාර නිරන්තර භාවිතය සහ දියවැඩියා රෝගී තත්ත්වයද මෙම අධික පිළිකා වර්ධනයට බලපා තිබේ. සෞඛ්‍ය සම්පන්න නොවන අවිධිමත් ජීවන රටාවද, ව්‍යායාම හිඟකම යනාදී කරුණු ද මීට බලපානු ලබන ප්‍රධාන සාධකය.
පලා වර්ග හා පළතුරු වර්ග ආහාරයට නොගැනීම හෝ අඩුවෙන් පරිභෝජනයද, රතු මස් වර්ග වැඩියෙන් ආහාරයට ගැනීමද බඩවැල් ආශ්රිත පිළිකා බහුලවීමට ප්‍රධාන හේතුවකි. මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක 2006 සිට සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර තිබුණේ තුන් වේලටම ගව මස් පරිභෝජනය කරන්නන් බඩවැල් ආශ්රිත පිළිකා වැළඳුණු අය අතර වැඩි වශයෙන්ම සිටින බවය.
සාමාන්‍යයෙන් ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් අනුව ඇමෙරිකාව සහ යුරෝපය ආශ්රිත පිළිකා පැතිර යාම ඉහළ යා යුතු යැයි අනුමාන කළ හැකි වුවත් එය එසේ වී නැත. නිදසුනක් හැටියට යුරෝපය තුළින් වාර්තා වී ඇත්තේ ලෝක ජනගහනයට සාපේක්ෂව 22.8% ක රෝගීන් ප්රතිශතයකි. ඒ රටවල පිළිකා මරණ ප්‍රතිශතය 19.6% කි. ඇමෙරිකාවේදී මේ දත්ත පිළිවෙළින් 20.9% සහ 14.2% තරම් අඩු ප්රමාණයකි. මේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන සහ ජීවන තත්ත්වය ඒ තරම් උසස් නොවූ කලාපයේ පිළිකා පැතිර යාමේ අවදානම වඩාත් ඉහළ බව තහවුරු වී හමාරය.
ලොව පුරා පිළිකා පැතිරීමේ විශේෂ රටාවක් දක්නට හැකිය. ඒ අනුව රටවල් 112 කම පිරිමින් අතර ප්‍රධාන ලෙස වාර්තා වී ඇත්තේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාවය. ඉන්දියාව හා ලංකාව ප්රමුඛ කලාපයේ බහුලම පිළිකාව මුඛ පිළිකාවය. රටවල් 36 ක පෙනහළු පිළිකාව ප්‍රධාන තැනක් ගනී. ගුද හා මහාන්ත්‍ර ආශ්රිත පිළිකා සහ අක්මාවේ පිළිකා පිළිවෙළින් රටවල් 11 ක් අතරින් වාර්තා වේ. පිරිමින්ගේ මරණ වැඩියෙන්ම සිදුකර ඇත්තේ පෙනහළු පිළිකා බව මේ දත්ත පෙන්වා දෙයි. රටවල් 93 ක මරණ සඳහා මේ පෙනහළු පිළිකාව වගකිව යුතුය. පුරස්ථ ග්‍රන්ථි පිළිකාව රටවල් 48 ක මරණ සිදුකළ ප්‍රධාන මාරකය වන අතර, තවත් රටවල් 23 ක අක්මා පිළිකාව ඒ මාරකයයි. කාන්තාවන් අතර ප්‍රමුඛතම මාරකය පියයුරු පිළිකාය. රටවල් 159 ක්ම එයට ගොදුරු වී ඇත. කාන්තාවන් මරා දමන අනෙක් පිළිකාව ගැබ්ගෙල පිළිකාවය. රටවල් 26 ක ප්‍රධාන මාරකය ලෙස එය වාර්තාගතය.
මේ දත්තවලට අනුව කාන්තා පිළිකා රෝගීන්ට සාපේක්ෂව පිරිමින්ගේ මරණ අවදානම දෙගුණයකින් ඉහළය. ගැහැනු පිරිමි භේදයකින් තොරව ලොව පිළිකා මරණවලින් අඩක්ම (58.3% ක්ම) වාර්තා වී ඇත්තේ ආසියානු කලාපයෙනි. එය අපට ලැබෙන නරක අනතුරු ඇඟවීමකි. ලෝකයේ අන් කලාප හා සසඳන විට ආසියා (58.3%) සහ අප්‍රිකා (7.2%) කලාපයන්හි සමූහ පිළිකා දායකත්වය සමස්තයක් ලෙස ඉහළ ගොස් තිබේ.
දැනට ලැබෙන වාර්තා අනුව 2050 දී මිලියන 35 කට අධික නව පිළිකා රෝගීන් ප්‍රමාණයක් බිහිවනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඒ 2022 දී ඇස්තමේන්තු කර ඇති මිලියන 20 ට වඩා 77% ක වැඩිවීමකි. දුම්කොළ, මද්‍යසාර සහ තරබාරුකම පිළිකා ඇතිවීමේ ප්‍රධාන සාධක වන අතර වායු දූෂණය තවමත් පාරිසරික අවදානම් සාධකවල ප්‍රධාන තැන ගෙන ඇත.
• සුගත් පී. කුලතුංගආරච්චි