කිසිම කෙනෙකුට ආතතියකින් තොරව ජීවත් වීමට නොහැකියි. ජීවිතය උණුසුම්ව පවත්වාගෙන යාමට මානසික ආතතිය වැදගත් සාධකයක්. ඒත් මානසික ආතතිය ප‍්‍රමාණය ඉක්මවා මනසට පීඩා ඇති කරන අවස්ථා එමටයි. මෙසේ කල්පවතින දැඩි ආතතිය ඔබේ ජීවිතය අවුල් කරන ආකාරය විශ්ලේෂණය කළොත් ස්වාමියා සහ බිරිඳ අතර සම්බන්ධතා බිඳ වැටීම, ආදරණීය බව අඩුවීම, නිතර තරහ යාම, මනසට සහ ඇඟට දැනෙන අසාමාන්‍ය විඩාව, නින්ද වැඩියෙන් යාම හෝ අඩුවෙන් නින්ද යාම, ලිංගික ආශාව අඩුවීම, දරුවන් සමඟ නිතර රණ්ඩු දබර වීම, යනාදි නොයෙකුත් සාධක දකින්න පුළුවන්.
සමහරු දැඩි ආතතියෙන් මිදීමට ගිජුලෙස ආහාර ගැනීම හෝ ආහාර නොගෙන සිටීම, එහෙමත් නැතිනම් මත්පැනට සිගරට්වලට ගොදුරු වීම, පැණිරස කෑමට ඇති දැඩි ආශාව වගේ දේවලට නැඹුරු වෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය, විශාදය වැනි රෝගවලට මෙන්ම හොයා නොගත් රෝගවලටත් ගොදුරු විය හැකියි.
මා හමුවෙන්න ආ දුලීකාත් එවැනිම මානසික අවපීඩනයට ලක් වූ කාන්තාවක්. ඇය දුමින්දත් සමඟ විවාහවෙලා අවුරුදු දහයකුත් පසුවෙලා. ඔවුන්ට අවුරුදු හතරක පුතෙකුත් සිටිනවා. ඒත් වසර ගණනාවක සිට ඔවුන් රණ්ඩු දබර වෙනවා. දුලීකාට දුමින්දව එපාවෙලා. දුමින්දට දුලීකාවත් එපාවෙලා. දුලීකාට දුමින්ද දැක්කමත් තරහා යනවා. උපාධිධාරිණියක් වන දුලීකා ගුරුවරියක්. දුමින්දත් ආයතන කළමනාකරුවෙක්. උගත් වුණත් මේ අයගේ රණ්ඩු දබර ඉවර නැහැ. ඒ පිළිබඳව දුමින්දගේ පියා කිව්වේ මේ වගේ කතාවක්.
මේ දෙදෙනා අතර තියෙන ගැටලුව අපට නම් තේරෙන්නේ නැහැ. රණ්ඩු ඉවරයකුත් නැහැ. ළඟදී මම දෙන්නගෙම කේන්දර අරගෙන ගිහිල්ලා බැලුවා. කේන්දරේට අනුව නම් දුමින්දට මේ කාලේ අපලයි. ඒ අපලය ගෙවෙන්න තව අවුරුදු 05ක් වත් යනවලු. ඒ අවුරුදු පහ ඉවරවෙනකොට මේ දෙන්නා එකටවත් ඉඳීවිද දන්නේ නැහැ.
මම ඊළඟට දුලීකා දිහාවට හැරුණා. ඇය කිව්වේ මේ වගේ කතාවක්.
මම පුංචි කාලෙ හරිම සතුටින් හිටියා. ඒත් දැන් ජීවිතේ හරිම පාළුයි. මගේ අම්මයි තාත්තායි රණ්ඩු වෙනවා දැකලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයාලා ගොඩක් සමගියෙන් හිටියා. ඒත් මමයි දුමින්දයි විවාහ වෙලා සතුටින් හිටියේ පළවැනි අවුරුදු හතර විතරයි. අනෙක් අවුරුදු කීපයම ගතකළේ රණ්ඩු දබර නිසා අලුත් වෙන කඳුළුත් එක්ක. මේ විදියට අසතුටින් ජීවත්වීමට හේතුව හිතාගන්න බෑ. මට නිතර තරහා යනවා. හිතේ කිසිම විවේකයක් නැහැ. තරහෙනුත් දුකෙනුත් කාලය ගතවෙනවා. මට නින්ද යන්නෙත් නැහැ. නිදි පෙත්තක් බීලයි නින්දට යන්නේ.
දුලීකාගේ කතාව අහගෙන සිටිය මම දුමින්ද දෙසටත් හැරුණා. දුමින්ද කිවේ මේ වගේ දෙයක්.
මම ආයතන කළමනාකාරවරයෙක්. මට මුලින්ම ලැබුණේ ලිපිකරු පත්වීමක්. එතන ඉඳලා ගොඩක් මහන්සියෙන් කැපවෙලා තමයි මේ තැනට ආවේ. අපි දෙන්නා අතර බොහෝ ගැටලු මතුවුණේ ඔෆිස් එකේ ඇති රාජකාරිවල අසීමිත බවත් එක්ක. ඇය මට හය වෙනකොට ගෙදර එන්න කියනවා. ඒත් ගොඩක් දවස්වල මගේ වැඩටික ඉවරවෙද්දි රෑ 10 වෙනවා. ඇය මට ට්‍රිප් යන්න කතා කරනවා. ඒත් මට ඒ දේවල්වලට යන්න වෙලාවක් නැහැ. සමහර දවස්වල මම ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් එනවා. නැත්නම් මට ඒ වැඩ කරගන්න අමාරුයි. ඒත් මම එහෙම කරන එක ගැන ඇය හරිම තරහයි. ඒ තරහ ඇය මගේ පුංචි පුතාගෙනුත් පිටකරනවා. මේ අපලය කවදා ඉවර වෙයිද මන්දා.
ඔහුගේ කතාව අහගෙන හිටපු මව ඔහුට හුඟක් තරහ යනවද කියා විමසුවා. එවිට ඔහු කිව්වේ මේ වගේ දෙයක්.
ඔව්. මට හුඟක් තරහ යනවා. ඒ දුලීකා එක්ක විතරක් නෙවෙයි. ඔෆීස් එකේ හරියට පිළිවෙළට වැඩ නොකරන සියලු දෙනාටම පරුෂ වචනයෙන් බැණ වදිනවා. හවස් වෙනකොට මට ඔළුව බර ගතියක් තියෙනවා. ඇඟට තෙහෙට්ටුයි. මේ දිනවල මා ගිජුකමින් කෑම කනවා. මගේ බරත් වැඩිවෙලා. හිසේ කැක්කුමකුත් තියන නිසා මම වෛද්‍යවරයෙක් මුණගැසුණා. ඔහු පැවසුවා මගේ රුධිර පීඩනය වැඩි බව. යම් තැනක යම් දෙයක් වැරදිලා කියලා තෙරෙනවා. ඒත් ඒක හදාගන්න ආකාරය හිතාගන්න බැහැ. අපි දෙන්නම ජීවත්වෙන්නෙ අසතුටෙන්. දැන් කසාද ජීවිතෙත් අවසන් වෙන්නයි යන්නේ. මට ප‍්‍රමෝෂන් නම් හම්බවෙයි. ඒත් මට දැන් හිතෙනවා මේකද ජීවිතේ කියලා.
මෙන්න ආතතිය!
ජීවිතය නිසිලෙස කළමනාකරණය කර ගැනීමෙන් මේ ආතතිය අඩුකරගන්න පුළුවන්. ඉන්පසු සතුට ලැබිය හැකියි. මේ වගේ වෙලාවට දවසකට විනාඩි දහයක් හෝ පහළොවක් වෙන්කරගෙන නිශ්ශබ්ද ස්ථානයකට ගොස් මනසට දැනෙන දේවල් කල්පනා කිරීම සුදුසුයි. ඉන් ඔබට ඔබ ඉන්න තැන පිළිබඳව අවබෝධ කරගත හැකියි. එනම් ආතතියේදී ඇතිවන හිසේ බර ගතිය, තරහයාම, නින්ද නොයාම, ලිංගික ආශාව අඩුවීම, නුරුස්සන ගති යනාදිය පිළිබඳ ඔබට අවබෝධ කරගත හැකියි.
ලෝකයේ පිළිගත් සංවිධානයක් වූ ඇමරිකානු හෘදයාබාධිතයන්ගේ සංගමය කියනවා ආතතිය නිසා මිනිසුන් අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවලට ගොදුරු වන බව. ඒ වගේම ඒවා පාලනය කළ හැකි බවත් ඔවුන් කියනවා. ඒ සඳහා ව්‍යායාම්වල යෙදීම සුදුසු බව පෙන්වා දෙනවා. ඉන් සිරුරේ සැහැල්ලු බව මෙන්ම අනවශ්‍ය විඩාවන් දුරු කරගැනීමත් සිදු වෙනවා. නිරෝගී බවත් ඇතිවෙනවා. මෙහිදී මේ ප‍්‍රතිඵල ලබාගැනීමට නම් සතියකට දවසක් ව්‍යායාම කර වැඩක් නැහැ. ව්‍යායාමයක් දිනපතා හෝ දවසක් ඇර දවසක් කළ යුතුයි. ඊළඟ කරුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කණ්ඩායමක ජීවත් වීමයි. අද බොහෝ දෙනෙක් ඉන්නේ හුදකලා වෙලා. ඔවුන් වෙන් වෙන් වශයෙන් කුටුම්බයක් ඇතුළේ හිරවෙනවා. මෙය බොහෝ දියුණු රටවල දක්නට ලැබුණු දෙයක්. මෙහි අවසන් ප‍්‍රතිඵලය එපාවීම. ඒත් පරණ සමාජය දෙස බැලූ විට එහි තිබුණු සමගිය අගය කළ යුතුයි. ඕනෑම අවස්ථාවක කණ්ඩායමක් එකට එකතු වෙනවා. දුක සැප බෙදාගන්නේ සාමුහිකව. මේ සාමුහික බව නිසා මිනිස් සිතේ ඇතිවන අසහනය පීඩාව අඩුවෙනවා. මිනිසුන්ට ජීවිතය දැනෙන්නේ ඒ නිසයි.
මේ දේ වගේම ජීවිතේට විනෝදයක් අවශ්‍යයි. ඒ කියන්නේ මානසික සතුට වෙනුවෙන් විනෝද ගමනක් යන්න, යාළුවෝ හම්බවෙන්න යන්න, පවුලක් විදියට එළියට ගිහින් විනෝද වෙන්න කාලය වෙන්කර ගත යුතුයි. ඒ මගින් හිතේ ඇතිවන දැඩි පීඩනය අඩුවෙනවා. රාජකාරියම ජීවිතය කර ගැනීම නොකළ යුතු දෙයක්. ස්වාමියා, බිරිඳ දරුවන් අතර බැඳීම් වැඩි වෙනවා. වගේම හිතේ ලොකු සැහැල්ලුවකුත් මේ මගින් ඇතිවෙනවා. මීළඟට ඔබගේ හැසිරීම් රටාව පිළිබඳවත් හිතන්න ඕනෑ. විශේෂයෙන්ම ආතතියෙන් පෙළෙන බොහෝ දෙනෙක් හානිකර හැසිරීම් රටාවට නැඹුරුවෙනවා. එහි ප‍්‍රතිඵල තමයි ඇල්කොහොල්, සිගරට් වගේ දේවලට යොමුවීම. මේ මත්ද්‍රව්‍යවලින් යම්කිසි අවදිවීමක් ඔබට දකින්නට පුළුවන්. ඒත් මේ මත්ද්‍රව්‍ය දිගුකාලීනව ගැනීම නිසා විශාල වශයෙන් සෞඛ්‍යට හානිකර දේ වෙනවා.
නින්දත් මේ රෝගයේදී සැලකිය යුතු කාරණයක්. ඇතැම් අය හිතේ බර නැතිවෙලා යන්න කියලා රූපවාහිනිය නරඹන්න පුරුදු වෙනවා. නාට්‍යයක්, චිත‍්‍රපටියක්, සංගීත වැඩසටහනක් නැරඹුවාට කමක් නැහැ. ඒත් පැය ගණනාවක් නින්ද පාලනය කරමින් රූපවාහිනිය නැරඹීම නුසුදුසු දෙයක්. හේතුව එවැනි දේ මගින් ශරීරය උත්තේජනය නොවීම. ඒ වෙනුවට ක‍්‍රීඩාවලට යොමුවීම සුදුසුයි. ඒ වගේම පුද්ගලයෙක් පැය 6ක් හෝ 8ක නින්දක් නිරෝගී දිවියක් සඳහා ලැබිය යුතු වෙනවා.
මේ සියලු දේ වගේම සිනහවත් වැදගත් සාධකයක්. සිනහවීම මත ආතතිය අඩුවෙනවා. ඒ වගේම සිරුරේ බර අනුව දිනකට අවශ්‍ය ජලය ලබා ගැනීමත් ආතතිය අවම කිරීමට හේතුවක් වෙනවා. තවත් ආතතිය අඩු කිරීමට බලපාන වැදගත්ම දෙයක් තිබෙනවා. ඒ තමයි පිළිගැනීම. වෙනස් කිරීමට නොහැකි දේ පිළිගන්න පුරුදුවෙන්න ඕනෑ. අපේ ජීවිතවලට සම්බන්ධ සමහර දේ වෙනස්කළ නොහැකියි. ඒ දේවල් වෙනස් කිරීමට කාලය නාස්ති කිරීම නිශ්ප‍්‍රයෝජනයි.
උපදෙස්:
කිරිබත්ගොඩ මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය
නයනානන්ද කුමාරනායක