2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ප්‍රේමවන්තයාගේ අපූරු තෑග්ග

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5112

මට තාමත් මතකයි මේ වත්සලා කියන තරුණිය. ඇය ගැටවර වියේ සිටි යුවතියක්. ඇය ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණයේ තනියම. ඇය හිස පීරලා සිටියේ නැහැ. මුහුණත් විඩාබරයි. බැලූ බැල්මටම ඇය මනස අවුල් වූ යුවතියක් ලෙස පෙනී ගියා. ඇය මා ඉදිරියේ වාඩිවෙලා ඇගේ අතේ තිබුණ ලිපිය මට දුන්නා. එය මීගමුව රෝහලේ ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යතුමා මට යොමු කළ ලිපියක්. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙලා තිබුණා. මේ ලිපිය රැගෙන එන වත්සලාට අවුරුදු 18 යි. ඇය අවිවාහකයි. ඇය වෛද්‍ය වාට්ටුවේ සතියක් ප‍්‍රතිකාර ලැබුවා. ඇය වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවේ වස වර්ගයක් පානය කර ජීවිතය නැති කරගන්න උත්සාහ කළ පසුවයි. ඇය අපට යොමු කළේ ඇයගේ ලිංගික ප‍්‍රදේශයේ යම් බිබිලි වර්ගයක් දක්නට ලැබුණ නිසයි. අපි ඇය පරීක්ෂා කළා. ඇය හර්පීස් කියන ලිංගික රෝගයට ගොදුරු වෙලා තිබුණා. හර්පීස් රෝගය නිට්ටාවට සුව කරන්න බැහැ. මේ හේතුව නිසා ඇති වූ කම්පනයට ඇය ජීවිතය නැති කර ගන්න උත්සහ කරනවා. ඇය දැඩි මානසික පීඩයනයකින් පෙළෙන බව පෙනෙනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන්න.

මේ ලිපිය මා හොඳින් කියෙව්වා. පසුව මා ඇගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා. ඇය දුකින් බලාගෙන මගෙන් මෙහෙම ඇහුවා. ඩොක්ටර් මගේ මේ රෝගය සුව කරන්න බැරිද? මම හරිම පව්කාරයි. මට ජීවිතය එපාවෙලා තියෙන්නේ. ඇයි මට මැරෙන්න නොදුන්නේ. මම ගෙදර ගියත් කොහොමත් මැරෙනවා. මම ඇගේ කතාව කියන්න කියලා කිව්වා. මෙන්න ඒ කතාව.

මේක සිදුවුණේ මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ. මම නිවාඩු දවස්වල බාහිර පංතියකට යනවා. පන්ති ඉවරවෙලා එද්දි හවස් වෙනවා. එදත් පන්ති ඉවරවෙලා අපේ ගමට යන බස් එක එනකම් බස් හෝල්ට් එකේ හිටියා. මා ඉන්නකොට මට එහායින් රත‍්‍රන් පොරවා ගත්තු ලස්සන තරුණයෙක් මා දිහා බල බලා ඉන්නවා දැක්කා. ඒත් මම ඔහුව නොදැක්කා වගේ අහක බලාගෙන හිටියා. මම යන බස් එක ආවා. මම ඉක්මනට බස් එකට නැගලා වාඩිවුණා. අර තරැණයත් බස් එකට නැගලා මගේ ළඟින්ම වාඩිවුණා. ඔහු මා දිහා නිතරම බලනවා. ඔහු ලස්සනයි. ඔහු මට කතා කළා. මම ලස්සනයි කිව්වා. ඔහුගේ විස්තරත් කියන්න පටන් ගත්තා. ඔහු ඉතාලියේ ඉන්න බවත්, ඔහුට ගොඩක් මුදල් ඇති බවත් පැවසුවා. ඒ වගේම මගෙන් යාළුවෙන්නත් ඇහුවා. මට ගොඩක් බය හිතුණා. අදම මුණ ගැහුණ ඔහු ඇයි අදම මගෙන් යාළුවෙන්න ඇහුවේ කියලා හිතද්දි පුදුම හිතුණා. අම්මත් නැති පාළුවේ තනිකමේ ජීවිතය ගෙවන මට ඒ හමුවීම පුංචි සතුටකුත් ගෙනාවා. ඒත් ඒ සතුට මම සඟවා ගත්තා ඔහුට කිසිවක්ම කිව්වේ නෑ. 

අවාසනාවකට මේ පුද්ගලයා දෙවැනි දවසෙත් බස් හෝල්ට් එකේ හිටියා. ඔහු මට කතා කළා. මොනවා හරි බොන්න යන්න යෝජනා කළා. යෝජනාව මට ප‍්‍රතික්ෂේප කරන්න බැරිවුණා. මම ඔහුත් සමඟ ගියා. ඔහු මාව හෝටලයකට එක්කන් ගියා. මම අහිංසකයි, අසරණයි කියලා ඔහුට දැනෙන්න ඇති. ඔහු මාව කාමරයකට එක්කන් ගියා. මට මගේ ගෞරවය නැති වුණා. මම ගැහැණියක් වුණා. ඒ විදිහට ඔහු මාව කීප වතාවක්ම හොටෙල්වලට එක්කන් ගියා. මාස දෙකක් විතර ඒ විදිහට ගෙවිලා ගියා. ඒත් මුලින් මාව විවාහ කර ගන්නවා කියූ ඔහු විවාහය ගැන කතා කරන්න අකමැති වුණා. හිටි හැටියේම ඔහු අතුරැදහන් වුණා. ඔහුව හොයා ගන්න බැරිවුණා. ඔහුගේ දුරකථනය විසන්ධි වෙලා. ඔහුට කතා කරන්න අනේක වාරයක් උත්සාහ ගත්තා ඇත්තටම මේ මොකද වුණේ කියලා මට හිතා ගන්න බැරිවුණා. ඔය ඉන්න අතරේ මට උණ හැදුනා. හිසේ කැක්කුම ආවා. යෝනි ප‍්‍රදේශයේ බිබිලි වගයක් හැදිලා. ලොකු වේදනාවක් දැනුණා. මේවා පැහැවලා සැරව ආවා. ඒත් එක්ක ලේත් ආවා. මම හොඳටම බය වුණා. කාට කියන්නද? මං ගොඩක් අසරණ වුණා. ඒ නිසා කාටවත්ම නොකියා වෛද්‍යවරයකු හමුවුණා. තාත්තාට බොරැ කියලා සල්ලි ඉල්ලා ගත්තා. වෛද්‍යවරයා කිව්වේ මෙය ලොකු අසනීපයක් බව. ඒ වගේම මෙය සුව කළ නොහැකි බවත් කිව්වා. මට ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැසීමට උපදෙස් දුන්නා.

මම එකපාරටම වෛද්‍යවරයෙක් මුණ ගැහීමට ගියේ නෑ. මං ගොඩක් කල්පනා කළා. මට මෙහෙම වෙන්න හේතුව කුමක්ද? ඇයි මම දවසක් දෙකක් දැකපු තරුණයෙකුට රැවටුණේ. ඇයි මම ඔහුව ප‍්‍රතික්ෂේප නොකළේ. මගේ හිත මගෙන්ම ප‍්‍රශ්න ඇහුවා. මට අම්මත් එක්කත් තාත්තා එක්කත් තරහක් ඇති වුණා. මගේ ප‍්‍රශ්න කියන්න මට ආදරේ කරන්න කවුරුවත් හිටියේ නෑ. තාත්තා හිටියේ වැඩ කරලා සල්ලි හම්බ කරන ලෝකයක. අම්මා අවුරුදු හයක වගේ කාලයක සිටම අප ළඟ හිටියේ නැහැ. මගේ අසරණකම නිසාම මං මීට ගොදුරු වුණා කියලා මට හිතුණා.

මේ දේවල් හිතලම මට ජීවිතේ එපා වුණා. නින්ද ගියේ නෑ. කෑම කන්න බැරිවුණා. ඇඟට පණ නැති වුණා. කිසිම වැඩක් කරන්න ආශාවක් නැතිවුණා. වෙනදා හොඳට පාඩම් කරපු මට පාඩම් කරන්න බැරිවුණා. මට මැරුණොත් හොඳයි කියලා හිතුනා. ඒ නිසා දවසක් මා මැරෙන්න තීරණය කරලා වස බිව්වා. ඊටපස්සේ තමයි රෝහලට ගෙන ආවේ. වෛද්‍යවරු ගොඩක් මහන්සිවෙලා මාව සනීප කළා. එහිදී ඔවුන් දැනගත්තා මට හර්පීස් කියන රෝගය වැළඳී ඇති බව. මගේ හිතේ පීඩනය තවත් වැඩිවුණා. මේ රෝගය කවදාවත් සුවපත් කළ නොහැකි බවත්, එය යටපත් කර පමණක් තබාගත හැකි බවත් දැනගත්තා. ඒ වගේම කවදාක හරි දරැවෙක් ලැබෙන විට ඒ දරුවටත් රෝගය යා හැකි බව දැන ගත්තා. මං තවත් අසරණ වුණා. මට ආයෙමත් මැරෙන්න හිතුණා. එය දැනගෙන තමයි වෛද්‍යවරැ මාව මෙතනට යොමු කළේ.

ඇගේ කතාව අසා සිටි අපි ඇයව හොඳින් පරීක්ෂා කළා. ඇය දැඩි මානසික අවපීඩන තත්ත්වයට පත්වෙලා හිටියා. මානසික අවපීඩනයේ ලක්ෂණය තමයි ජීවිතය නැති කර ගැනීමට සිතිවිලි ඇතිකර ගැනීම ඒ කියන්නේ එවැනි අය විශාදිය කියන තත්ත්වයට ගොදුරු වෙනවා. විශාදිය හැදෙන අයකුගේ මොළයේ රසායනික වෙනසක් සිදුවෙනවා. මේ අයට මානසික ප‍්‍රතිකාර කර ජීවිතය නැති කර ගැනීමේ අවශ්‍යතාව ඉවත් කළ යුතුයි. ඊට පසුව ජීවත්වීමේ ආශාව ඇති කළ යුතුයි.
දෙවනි අවස්ථාවේදී ඔළුව නිරාකරණය කර ගැනීමේ හැකියාව වර්ධනය කර දිය යුතුයි. එහිදී මනස විවෘත කර ගැටලුව අවබෝධ කර ගැනීමටත් එවැනි රෝගයක් සමඟ ජීවිතය දෙස ධනාත්මකව බලන්නේ කෙසේද යන්නත් පැහැදිලි කර දිය යුතුයි. මෙහිදී අප මැයට හර්පීස් රෝගය ප‍්‍රතිකාර මගින් පාලනය කරන්නේ කෙසේද? හොඳ විවාහ ජීවිතයක් ගතකිරීම හා දරුවාට ආරක්ෂාකාරී ලෙස උපතක් ලබාදීම පිළිබඳ දැනුම්වත් කිරීම් කළා. මෙවැනි රෝග තියෙන අයෙක් අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමකට යා යුතු වෙනවා. හේතුව යෝනි මාර්ගයේ ඇති මේ විෂබීජ දරැවාට හානියක් විය හැකි නිසා. මේ කරැණු පිළිබඳ අප ඇයට අවබෝධයක් ලබා දුන්නා. ජීවත්වීමේ වටිනාකම, ජීවිතයේ ඉදිරියට යා හැකි බව, ඇගේ හැකියාවත් අප පෙන්වා දුන්නා. ඇය වෙනස්වෙලා ආයෙත් උසස් පෙළ කළා. ඇය දැන් උසස් රැකියාවක් කරනවා. ඇයට මේ සියලු දේ දත් පෙම්වතෙකුත් ඉන්නවා. ජීවිතය දෙස ධනාත්මකව බැලීමට ඇයට අප කියලා දුන්නා. උපදේශනයේදී සිදු වන්නේ එයයි. මෙවැනි අයට අප ප‍්‍රතිකාර කරනවා වගේම වැඩිහිටි අයට සිතීමටත් දෙයක් තියනවා.

අද තියෙන්නේ විෂය මූලික වෙච්ච ඒකාකාරී අධ්‍යාපන රටාවක්. ඒකෙන් දරුවන්ගේ ප‍්‍රශ්න දරා ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා දරුවන්ට පුංචි කාලයේ සිටම ගැටලු විසඳාගෙන ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුරුදු කළ යුතු බව. එය ඉතාමත්ම වැදගත්. කොච්චර ඉගෙන ගත්තත් ජීවිතේ සාර්ථක කර ගන්න බෑ ජීවන කුසලතා ජීවිතයට ඇතුළත් කර ගත්තේ නැත්නම්. මේ කුසලතා වර්ධනය වෙන්න මව්පියෝ දරුවෝ ළඟ ඉන්න  ඕන. සල්ලිවලින් ගන්න බැරි ගොඩක් දේ ආදරය, අගය කිරීම මඟින් දරැවන්ට දෙන්න පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාඥයෝ පරීක්ෂා කරලා තියෙනවා. දරැවා පුංචි කාලයේදී හැඟීම් බෙදා ගැනීම, ප‍්‍රශ්න සාකච්ඡා කිරීම, ඔහුගේ අදහස් ප‍්‍රකාශනයට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම, ඔවුන් අගය කිරීම හා ආරක්ෂාව ලබාදීම මඟින් ඔවුන්ට හොඳ පෞරැෂයක් ගොඩනැගෙනවා. ඒ මඟින් ඔවුන්ගේ ජීවිත ලස්සන වෙනවා යන්න ඔවුන් සොයාගත් පැහැදිලි සත්‍යයක්.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක