මව්පියන් දරුවන්ගේ හැඟීම් තේරුම් නොගැනීමත්, ඔවුන්ගේ මනසට පීඩාකාරී ලෙස කටයුතු කිරීමත් නිසා නිතරම ඔවුන් මවුපියන් සමඟ ඝට්ටනය විය හැකියි.
අද මම මගේ වෛද්‍ය සායනයට පැමිණි එවැනි දරුවෙකු පිළිබඳව කතාකරනවා. ඇය ගිම්හානි. ගිම්හානිගේ වයස අවුරුදු 18 යි. ඇය නගරයේ ඇති ප‍්‍රධාන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබුවා. ඇය අප වෙත යොමුකළේ ඇගේ මව්පියන්. ඔවුන්ට තිබූ ගැටලුව ගිම්හානි ආසාවෙන්, කැමැත්තෙන් කිසිම වැඩක් නොකිරීම. මම ඇය සමඟ කතාකළා. ඇය මේ වගේ කතාවක් පැවසුවා. අපේ ගෙවල් තියෙන්නේ කළුතර. මම අපේ පවුලේ එකම දරුවා. මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ ගමේ ප‍්‍රාථමික පාසලක. මම ශිෂ්‍යත්වයට පංති ගියා. ඒත් මට නිදහසේ සෙල්ලම් කරන්න කාලය තිබුණා. ශිෂ්‍යත්වයට කියලා මම හුඟක් මහන්සි වෙලා පාඩම් කරලත් නෑ. පාසලේ මම කවදත් හිටියේ දක්ෂ ළමයින්ගේ කණ්ඩායමේ. ඒ නිසා ගුරුවරු කවදත් මට සැලකුවේ දක්ෂ ළමයෙක් විදියට. මම පාඩම් වැඩ කළේ නිරායාසයෙන්. පාසලේ බාහිර වැඩටත් සම්බන්ධ වුණා. ඒ වගේම මම හොඳට ශිෂ්‍යත්වය පාස්වුණා. ඒ නිසා මට කොළඹ ප‍්‍රධාන බාලිකා විද්‍යාලයකට යන්න පුළුවන් වුණා.
අපේ පවුලේ හැමෝම මා ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා. තාත්තාට වැඩියෙන් අම්මා මගේ ජීවිතේට ළංවුණා. මට නිතරම උපදෙස් දුන්නා. මම ඉස්කෝලේ ගියේ අපේ කළුතර ගෙදර ඉඳලමයි. ගෙදර යද්දී හවස් වෙනවා. ගොඩක් මහන්සියි. ඒ නිසා මම මගේ ක‍්‍රීඩා කටුයුතු වගේ බාහිර වැඩ නතර කළා. මේ බාලිකා විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ මම ටිකක් බය වුණා. මෙහිදී මට ඉගෙනගන්න ලැබුණේ හුඟාක් දක්ෂ ළමයි එක්ක. දක්ෂ ළමයිගේ කණ්ඩායමේ රැඳී ඉන්නට හුඟක් වෙහෙසිලා වැඩකරන්න වුණා. මට හුඟක් බලාපොරොත්තු තිබුණා. ලොකුම බලාපොරොත්තුව වුණේ අම්මගේ හීන සම්පූර්ණ කරන එක. මම හත වසරට යද්දී විභාගවලටත් බියක් ඇතිවුණා. දැඩි ආයාසයකින් හා කැපවීමකින් විභාගයට සූදානම් වුණා. නිතරම පාඩම් කළා. කිසිම විවේකයක් තිබුණේ නැහැ. කොහොම හරි පන්තියේ දෙවැනි තැන ගන්න මට පුළුවන් වුණා. මේ ඉස්කෝලෙදි මට හමුවූ ගුරුවරු වුණත් එතරම් සමීප නැහැ. ඒ ගුරුවරු දක්ෂ ළමයි ලෙස හැඳින්වූයේ එක විෂයකට පමණක් වැඩිම ලකුණු ගන්න ළමයින්ව. ඒ නිසා දක්ෂ ළමයින් වෙන්න එක් එක් විෂයට වැඩිම ලකුණු ගන්න අපි අතර තරගයක් ඇති වුණා. අපේ ගුරුවරුත් විෂය අතර හිරවෙලා හිටියේ. එයාලගේ හිතේ තිබුණෙත් විෂය මාලාව ඉක්මනින් අවසන් කිරීමේ අභිලාෂය. ගුරුවරුන් අතර ඇතිවන සමහර ප‍්‍රශ්නවල බලපෑමක් ඇතිවුණේ ළමයින්ට. සමහර ගුරුවරුන්ගේ ප‍්‍රශ්නවලින් අපිත් බැට කෑවා. ඒ නිසාම මට ඉගෙන ගන්න තිබුණ ආශාවත් ටිකෙන් ටික අඩුවෙලා ගියා. පාඩම් කළෙත් හරිම අඩුවෙන්. හැම වෙලාවකම දැඩි වෙහෙසක් දැනුණා. ඒත් මම සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා.
මම උසස් පෙළ පන්තියට ඇතුළු වුණා. අම්මා මට කිව්වේ සෑම විෂයකටම විශිෂ්ට සම්මාන ලබාගන්න කියලා. ඇයගේ සිහිනය වුණේ මාව පරිගණක ඉංජිනෙරුවරියක් කරන්න. ඇය ඒ පිළිබඳව නිතර නිතර කියවන්න පටන් ගත්තා. මම පාසල් ඇරිලා ටියුෂන් ගියා. ටියුෂන් ඉවරවෙලා කළුතර යනකොට රෑ හත අට වුණා. මට විශාල මහන්සියක් දැනුණා. හිසේ බර ගතියකුත් දැනුනා. රෑ බෝ වී ගෙදර ආවත් මට විවේක ගන්න ලැබුණේ නෑ. අම්මා කෙළවරක් නැතිව පාඩම් කරන ලෙසම කියනවා. මගේ සිතිවිලි පිළිබඳ කතා කරන්න කිසිවෙකුත් මට හිටියේ නැහැ. මට ලොකු හිසේ කැක්කුමක් ඇති වුණා. ටිකෙන් ටික හැමදේම අමතක වන ගතියක්ද ඇති වුණා. මම බොහොම පිළිවෙළකට වැඩකරපු කෙනෙක්. මගේ පිළිවෙළ නැතිවෙලා ගියා. ඇඳුම් වුණත් අපිළිවෙළට අඳින්න පටන් ගත්තා. කාමරය පිස්සන් කොටුව වගේ කියා අම්මා කියවන්න පටන් ගත්තා. මට මොනවා වෙලාදැයි මටම හිතාගන්න බැරිවුණා. පාඩම් කරන්න තියෙන ආශාව අඩුවුණා. කල්පනා ශක්තිය අඩු වුණා. ඒ සමඟම මගේ මතකයත් අඩුවුණා. මට තරහ යන්න පටන් ගත්තා. මුලින්ම පංති යාම එපා වුණා.
ටිකෙන් ටික පාසල් යාමත් අඩුවුණා. පාසලෙනුත් බැණුම් අහන්න සිද්ධ වුණා. හරියට වැඩ කරන්න බැරිනම් වෙන පාසලකට යන ලෙස, මට කියා සිටියා. දවසක් විදුහල්පතිනිය ගාවටත් මාව යොමුකළා. ඉස්කෝලෙ තැන තියෙන්නේ හොඳ ළමයින්ට විතරක් බව අය පැවසුවා. පංති කාමරයේ සිටි හොඳ හා දක්ෂ කියන කණ්ඩායමෙන් මම ගිහිලී ගියා. සමහර යාළුවෝ මම සමඟ කතාකරන එක නැවැත්තුවා. මගේ දුක ගැන අහන්න කිසිවකු හිටියේ නැහැ. අම්මත් මට නිතරම බණින්න පටන් ගත්තා. ඇය ගොඩක් තරහින් හිටියේ. මගේ පාසල්යාම නතරවුණා. මාව වෛද්‍යවරයෙකුටත් යොමුකළා. ඔහු පැවසුවේ කිසිම විවේකයක් නැතිව පාඩම් කිරීම හා පංතියාම නිසා ඇති වූ පීඩාකාරී බව නිසා මොළයට හානි සිදුවීමෙන් මා මේ තත්ත්වයට ගොදුරු වී ඇති බවයි.
අපි ගිම්හානිට සිදු වූ දෙය විද්‍යාත්මකව විග‍්‍රහකර බලමු. ගිම්හානිගේ ගෙදර පරිසරය ගත්තොත් ඇගේ මව්පියෝ ඇගෙන් අනවශ්‍ය ප‍්‍රමාණයට දේවල් බලාපොරොත්තු වී තිබුණා. ඇය මනසට හෝ ගතට සැහැල්ලු බව ගෙන දෙන කිසිම ව්‍යායාමයක නිරත වී නැහැ. ඇය ගතකර තිබුණේ අවිවේකී ජීවිතයක්, වගේම ඒකාකාරී ජීවිතයක්. අම්මාගේ අසීමිත ප‍්‍රාර්ථනා, අම්මා යාළුවෙකු සේ ඇයට සමීප නොවීම, ඇය හුදකලා වීම ගිම්හානිගේ ජීවිතයට තදින්ම බලපා තිබුණා. ඒ වගේම දැනට තිබෙන නවීන විද්‍යා දැනුමත් සමඟ ගිම්හානිගේ තත්ත්වය මෙසේ විස්තර කළ හැකියි.
දරුවෙකු උපදින අවස්ථාවේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වී තිබෙන්නේ නැහැ. මොළය වර්ධනය වීමේදී සමාජ බලපෑම් ද හේතු වෙනවා. එනම් උපදින අවස්ථාවේ මොළයේ සෛල ප‍්‍රකෝටි 100 ක් තිබෙනවා. ඒත් ඒවා වර්ධනය වීමේදී 15,000 දාස් ගුණයකින් වැඩිවෙනවා. ඒ වගේම ජානමය බලපෑමට වඩා ජීවත්වන පරිසයේ බලපෑම වැඩි බව හෙළිවී තිබෙනවා. ගැටවර වියේදී මොළයේ ඇතිවන වෙනස්කම් පිළිබඳ සොයාගැණුනේ ඉතාම මෑතකදී. එහි වැදගත්ම සොයාගැනීම වූයේ ලලාට ඛණ්ඩිකාවේ වර්ධනය. එනම්, එය දරුවාගේ පෞරුෂයට අදාළ මොළයේ පරිපථ වර්ධනය වන කොටසයි. එය සිදුවන්නේ ගැටවර වියේදී. එහිදී දරුවාගේ ලලාට ඛණ්ඩිකාවට හානිකර සිදුවීම් සිදුවුවහොත් දරුවාගේ ජීවිතයේ පහත සඳහන් වෙනස්කම් සිදුවිය හැකියි.
හැඟීම් පාලනය කරගත නොහැකිකම, ආරම්භ කළ වැඩක් අවසාන නොකිරීම, එදිනෙදා කටයුතු කෙරෙහි මතකය නැතිවීම, පිළිවෙළ හෙවත් සංවිධානාත්මක බව නැතිවී යාම, තීරණ ගැනීම අපහසුවීම, හැඟීම් රහිත වීම, (සහකම්පන/සංවේදනය) අපරාධ සඳහා යොමුවීම. මේ නිසා ගැටවරවිය ඉතාම වැදගත් කාලපරිච්ඡේදයක් බව වැඩිහිටියන් අවධානයට ගතයුතු කරුණක්.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක