2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ලස්සන පුතා දුවෙක් වෙලා

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1427

පුංචි කසුන් හරිම ලස්සනයි. ඔහුගේ බොකුටු කොණ්ඩයත් හරියට ගෑනු ළමයෙකුගේ වගේ. කසුන්ගේ අම්මා කසුන්ට ලස්සනම ලස්සන රෝස පාට මල් වැටුණු පුංචි ගවුම් පොඩියක් ඇන්දුවා. රෝසපාට රිබන් එකකින් බොකුටු කොණ්ඩය එකතුකර ගැටගැසුවා. පුංචි පබලු මාලයක් දාලා අත්දෙකට වළලූත් දැම්මා.

මේ ඉන්නේ මගේ පුංචි රෝස කුමාරි හරිම ලස්සනයි මගේ කෙළි පොඩ්ඩ... කියමින් පුංචි කසුන්ව වඩාගෙන හුරතල් කළා. එය බලා සිටි ගෙදර හැමෝම හිනාවුණා.

ඇත්තටම කසුන් පුතා දුවෙක් වගේමයි. පුතෙක් කියලා කියන්නවත් බැහැ.... හැමෝගෙම මුවින් පිටවුණා. මේ වගේ බොහෝ අත්දැකීම් ඔබටත් ඇති. පුංචි පුතණුවනට දියණියන් ලෙසිනුත්, දියණියන්ට පුතණුවන් ලෙසිනුත් අන්දවා හැඩබලන, ආමන්ත‍්‍රණය කරන ඔබ සිතිය යුතු විශේෂ දෙයක් තියෙනවා. ඔබ නොහිතා කරන එවැනි ක‍්‍රියා නිසා එම පුංචි මල්කැකුළු සිතන පතන ආකාරය වෙනස්වීම හැසිරෙන ආකාරය වෙනස්වීම මෙන්ම එම වෙනස ඔවුන්ගේ ජීවිතයම අවුල් ජලාවක් බවට පත් කිරීමට හේතුවිය හැකියි.

ඔබේ දරුවා පුංචි කාලයේ ගෑනු ළමයෙක් වගේ ලස්සන වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ගෑනු ළමයෙක්ට වගේ ඇඳුම් අන්දවන්න. ඔබ කියන්න පුළුවන් මෙයා ගෑනු ළමයෙක් වුණානම් කොච්චර හොඳද කියලා. අනිත් අය ඉදිරියේත් ඔබ මේ විදිහට දරුවා පිළිබඳ කතා කරන්න පුළුවන්.

මේ දේවල් නිසා ඔබේ පුංචි පුතා ගෑනු ළමයෙක් වගේ ඉන්න ආශාවෙන්න පුළුවන්. සාරියක් අඳින්න. බෝනික්කෝ එකතු කරන්න. ලස්සනට හැඩ වෙන්න ආසාවෙන්න පුළුවන්. ඔබත් ඔහුව අනේ, කෙල්ල කියලා තුරුලු කරගන්න පුළුවන්. ඒක ගොඩක් භයානක දෙයක්. අන්තිමේදී මේ දරුවාගේ සිතේ ස්ත‍්‍රී පුරැෂ භාවය පිළිබඳ සිතිවිලිවලදී තමා කොල්ලෙක් නෙවෙයි කෙල්ලක් ලෙස සිතා ගැටලු ඇතිවෙන්න පුළුවන්.

පුද්ගලයන්ගේ ලිංගිකමය වෙනස්කම් අනුවයි ස්ත‍්‍රී පුරුෂ ලෙස වර්ගකර දක්වන්නේ මේ ලිංගික භාවය ඇතිවෙන්නේ ජානවලින්. ඒ කියන්නේ මව්කුස තුළ සිටින මුල් කාලයේ Y කියන ක්‍රෝමසෝමය (වර්ණදේහය) මත පිරිමියෙන් වීම සඳහා අදාල ලිංගික අවයව නිර්මාණය වීම සිදුවෙනවා. මේ Y කියන වර්ණදේහ නැතිනම් ගෑනු ලක්ෂණ පිහිටීම සිදුවෙනවා. ගර්භාෂය, පැලෝපීය නාල, යෝනි මාර්ගය, පියයුරු නිර්මාණය වීම එහි ප‍්‍රතිඵලයක්. මෙය සිදුවන්නේ මව්කුස තුළයි. ඒත් ස්ත‍්‍රී පුරුෂ භාවය කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. මම ස්ත‍්‍රියක්ද, පුරුෂයෙක් ද යන ප‍්‍රශ්නාර්ථය ඇතිවෙන්නේත් මේ නිසා. මෙයට කියන්නේ ජෙන්ඩා අයිඩෙන්ටිටි කියලා. මේක තීරණය වෙන්නේ ජාන නිසා නෙවෙයි. පරිසරය නිසා කියලා විද්‍යාඥයෝ කියනවා.
අද මම කතා කරන්නෙත් මෙම ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳව ගැටලු ඇතිකරගත් පුංචි දරැවකුගේ කතාවක්. ඔහු කසුන්. වයස අවුරුදු හතක පිරිමි ළමයෙක්. ඔහු ඔහුගේ අම්මත් සමග මා හමුවීමට පැමිණ සිටියා. ඔහු පන්තියේ හොඳට වැඩකරපු දක්ෂ ශිෂ්‍යයෙක්. ඒත් දැන් ඉගෙනීම් කටයුතු අතපසු කරනවලු. ඒ ගැන කසුන්ගේ අම්මා කිව්වේ මේ වගේ කතාවක්.

පුතා ඉගෙනගන්න දක්ෂ ළමයෙක්. ඒත් දැන් හැම විෂයකටම ලකුණු අඩුවෙලා. ගොඩක් තරහ යනවා. සමහර වෙලාවට කල්පනා කරනවා. ඔහු මගෙන් එක ඉල්ලීමක් කරනවා. ඔහුට ගෑනු ළමයෙක් වෙන්න ඕනලු. ඔහු දැන් යන්නේ පිරිමි පාසලකට. එයා මට නිතරම කියනවා කාන්තා පාසලකට ඇතුළත් කරන්න කියලා. ඉස්කෝලේ ඇරිලා ගෙදර එන කසුන් අක්කලගෙ ඇඳුම් ඇඳගෙන ඉන්න ගොඩක් ආසයි. හුඟක් දවස්වලට මගේ සාරියක් ඇඳගෙන ලිප්ස්ටික් ගාගෙන ටීචර් කෙනෙක් වගේ උගන්වනවා. එයා බෝනික්කෝ එකතු කරන්නත් ගොඩක් ආසයි. ඒ නිසා මම කොහේ ගියත් ඔහුට බෝනික්කෝ ගෙනත් දෙන්න අමතක කරන්නේ නැහැ. දවසක් කසුන් මේ බෝනික්කෝ පාසලටත් අරගෙන ගිහින්. තවත් දවසක මගේ ලිප්ස්ටික් තොල්වල ගාගෙන ගිහින් තිබුණා. ඒ හැම අවස්ථාවකම ළමයි ඔහුට හිනාවෙලා. කෙල්ලෙක් කියලා විහිළු කරලා. දැන් ඒ ඉස්කෝලෙ යන්න බෑ කියනවා. මෙයාට ගෑනු ළමයෙක් වෙන්නම  ඕනෑ කියනවා. මේක මට මහ වදයක් ඩොක්ටර්....

ඒ විදියට කසුන්ගේ අම්මා කසුන් පිළිබඳව ගැටලුව ඉදිරිපත් ඉදිරිපත් කළා. ඊළඟට මම කසුන්ගේ කුඩා අවධිය පිළිබඳවත් ඇගෙන් විමසුවා. එවිට ඈ කිව්වේ මේ වගේ දෙයක්. සමහර විට අපිට වැරදුනා කියලා හිතෙනවා ඩොක්ටර්. ඔහුගේ මෙම හැසිරීම් මම නිතරම ඇගයීමට ලක් කළා. ලස්සන කෙල්ල කියලා කිව්වා. ටීචර් කෙනෙක් වගේ උගන්වද්දි කිව්වා අනේ ඔයා දුවෙක් වුණා නම් ලස්සන ටීචර් කෙනෙක් වෙයි කියලා. ඒ වගේම සමහර දවස්වල මගේ ඥාතීන් ආපුහම අක්කගෙ පුංචි ගවුම් පුතාට අන්දවලා ඉස්සරහින් ගිහින් තිබ්බා. ඒ හැමෝම හිනාවුණා. මට හිතෙනවා මේවා මම කරපු වැරදි කියලා. කසුන්ගෙ තාත්තා ඉන්නෙ රට. මම තමයි ගෙදර හැම දෙයක්ම කරන්නේ. මගේ ලොකු දරුවා ගෑනු දරුවෙක්. කසුන් නිතරම කියනවා අම්මා වැඩිය ආදරේ අක්කට කියලා. ඒ වෙලාවට මම පුතාට කිව්වේ කොල්ලන්ට වඩා හොඳට කෙල්ලන්ව බලාගැනීමට අවශ්‍ය බව. ඒ වෙලාවට කසුන් මමත් කෙල්ලෙක් වුණා නම් අම්මා මාවත් හොඳට බලාගන්නවානේ කියලා කියනවා.

කසුන්ගේ අම්මාගේ හඬට කන්දුන් මම කසුන් දිහාවට හැරුණා. පුංචි කසුන් මම දිහා බලාගෙන හිටියා. කිසිම කලබලයක්වත්, බයක්වත් තිබුණේ නැහැ. මම ඇහුවා ඇයි ඔයා ගෑනු ළමයෙක් වෙන්න ආස කියලා. කසුන් මට මේ වගේ උත්තරයක් දුන්නා. අම්මා කියනවා ගවුම් ඇන්දම මම හරි ලස්සනයි කියලා. ඒ වගේම ගෑනු ළමයෙක් වුණොත් අම්මා මාව හොඳට බලාගන්නවනේ. මට ලොකුවෙලා ලස්සන ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. අම්මා අක්කට ගොඩක් ආදරෙයිනේ. මමත් කෙල්ලෙක් වුණොත් අම්මා මටත් ගොඩක් ආදරේ කරයි. මට ගෑනු ළමයි ඉන්න ඉස්කෝලෙකට යන්න  ඕන. දැන් ඉස්කෝලෙ පිරිමි ළමයි මට නිතරම විහිළු කරනවා. මට ඉස්කෝලෙ යන්න හිතෙන්නෙත් නෑ.

එහෙම කියාගෙන ගියපු පුංචි කසුන්ගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබුණා. ඇත්තටම කසුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඒ පිළිබඳව තමයි දැන් මම පැහැදිලි කරන්නේ.

කෙනෙකුගේ බාහිර හෝ අභ්‍යන්තර ලිංගික අවයව නිර්මාණය වන්නේ ජානවලින්. එය සිදුවන්නේ මව්කුස තුළ සිටින කාලය තුළදී. නමුත් යම් කෙනෙකුගේ ස්ත‍්‍රී හෝ පුරුෂ භාවය කියන්නේ තමාට තිබෙන ලිංගික අවයව නොවෙයි. ස්ත‍්‍රී පුරුෂු භාවය කියන්නේ ගැහැණියක හෝ පිරිමියෙකු වීමට ඇති කැමැත්ත නැතිනම් ආශාව. එය ජානවලින් හෝ වර්ණදේහවලින් සිදුවන දෙයක් නොවෙයි. එය ජීවත්වන පරිසරය අනුව සිදුවන දෙයක්. කසුන්ගේ පරිසරය අධ්‍යයනය කළාම පේන දෙය තමයි පිරිමි ලක්ෂණ යටපත්වීම හා ස්ත‍්‍රී ලක්ෂණ මතු වීම. ඊට මවගේ ප‍්‍රකාශයන් හා හැසිරීම් උත්තේජනයක් වෙලා තියෙනවා. ඒ නිසා කසුන්ගේ මනසට ඇතුළුවෙලා තියෙනවා ‘මම කෙල්ලෙක් වුණා නම් හොඳයි’ කියන ආකල්පය. දරුවෙකුගේ මේ ස්ත‍්‍රී පුරුෂ භාවය ඇතිවෙන්නේ අවුරුදු 2 - 3 ත් අතර කාලය තුළයි. මේ කාලයේ දී දරුවාගේ ලිංගිකත්වයට හානි නොවන ලෙස පරිසරය සකස් කිරීමට මව්පියෝ දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ලෙස හෝ ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු ලෙස හෝ උද්දීපනය නොකළ යුතුයි. මෙහෙදී මව්පියන් නොකළ යුතු දේ මොනවද කියලත් ඔබ දැනුවත් විය යුතු වෙනවා. එනම් පිරිමි දරුවෙකුට ගැහැණු ඇඳුම් සහ ගැහැණු දරුවෙකුට පිරිමි ඇඳුම් නොඇන්දවිය යුතුයි. ඒ වගේම ගෑනු දරුවෙකුට පිරිමි දරුවෙකුට සේ ආමන්ත‍්‍රණය කිරීමත්, පිරිමි දරුවෙකුට ගෑනු දරුවෙකුට සේ ආමන්ත‍්‍රණය කිරීමත් නොකළ යුතුයි. ඒ වගේම ගෑනු පිරිමි භෙදයකින් තොරව එක හා සමාන ආදරයක් දරුවන්ට ලබා දිය යුතුයි. ගෑනු දරුවෙකුට බෝනික්කත් පිරිමි දරුවෙකුට වාහනත් දී ඔවුනට ගැලපෙන තත්ත්වයන්ට උත්තේජනය කළ යුතුයි.