දැඩි ආතතිය හෝ බලපෑම නිසා දරුවාගේ ඉගෙන ගැනීමේ ආශාවන් මොට විය හැකිය. ඉතා බුද්ධිමත් දරුවෙකු වූ දිනුක ඉගෙනීමට දුර්වල දරැවකු වූයේ අම්මාගේ බලපෑම් සහ තර්ජන මතය අධ්‍යාපනික කුසලතාවන්ට දරුවන් යොමු කරන ආකාරය දිනුකගේ කතාව ඇසුරෙන් සාකච්ඡා කරන්නටයි අපි මේ යන්නේ.
විනෝදයෙන් ඉගෙන ගැනීම:-
ඕනෑම දරුවෙකුට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත. එසේ හැකියාවක් නැතිනම් එම දරුවා විශේෂ ආබාධයකින් පෙළෙන දරුවෙක් විය හැකිය. බොහෝ දරුවන් තුළ මේ සැඟවී ඇති හැකියාව ඉස්මතු කර ආශාව ඇති කරවන පරිසරයක් නිර්මාණය කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ වගකීමයි. අසාමාන්‍ය ලෙස දරුවන්ගේ මනස මෙහෙය වීම, නිතරම බල කිරීම, ඇගයීමකට ලක් නොකිරීම, ඕනෑවට වඩා දරුවාගෙන් බලාපොරොත්තු වීම, අනාගතයට හෝ ජීවිතයට බය කිරීම, සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා නොදීම, අනිත් දරුවන් සමඟ හෝ පන්ති කාමරයේ සිටින දරුවන් සමඟ සංසන්දනය කිරීම මෙවැනි හේතු නිසා දරුවා තුළ සැඟවී ඇති හැකියාවන් යටපත් වී ඔහු හෝ ඇය ඉගෙනීමට දුර්වල පුද්ගලයෙක් බවට පත්විය හැකිය.
අපි මෙවැනි දරුවෙකු පිළිබඳ උදාහරණයක් මඟින් තේරුම් ගැනීමට උත්සාහ කරමු:-
දිනුකගේ වයස අවුරුදු 07යි. කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුම ලබන හුරුබුහුටි සෙල්ලමට බර දරුවෙකු විය. දිනුකගේ මව ගුරුවරියක්. පියා රාජ්‍ය ආයතනයක සේවකයෙකු ලෙස සේවය කරයි. දිනුක අපට කළුබෝවිල රෝහලට යොමුවූයේ නිතරම පවතින හිසේ කැක්කුමක් සහ පන්ති කාමරයේ වැඩවලට (විෂයන්ට දැක්වූ) අවදානය මෙන්ම ලකුණු ද අඩුවීම නිසාය. පන්ති කාමරයේ දිනුකගේ ගුරුතුමිය දිනුකව හඳුනාගෙන තිබුණේ ඉගෙන ගැනීමට අදක්ෂ දරුවකු ලෙසය.
අපි පළමුව කරන්නේ මෙවැනි දරුවෙකු බුද්ධි පරීක්ෂණයට ලක්කිරීමයි. බුද්ධි පරීක්ෂණයක් මඟින් ඔහු හෝ ඇය බුද්ධිය අඩු දරුවෙක් ද සාමාන්‍ය දරුවෙක් ද කියලා හඳුනාගන්න පුළුවනි:-
දිනුක ද බුද්ධි පරීක්ෂණයකට ලක් කළා. ඔහු බුද්ධි පරීක්ෂණයේදී ලකුණු 108ක් ලබාගෙන තිබුණා. මින් පෙන්නුම් වී තිබුණේ දිනුක ඉතාමත් හොඳ බුද්ධි ප්‍රභාවකින් හෙබි දරුවෙකු බවයි. එසේ නම් දිනුකගේ ඉගෙනීමේ හැකියාවන් දුර්වල වූයේ ඇයි? දිනුකත් සමඟ අපි වෙනමම කතා කළා. දිනුක මෙහෙම කිව්වා.
මගේ අම්මා හරිම සැරයි. මට සෙල්ලම් කරන්න, නිදහසේ ඉන්න කිසිම වෙලාවක් නැහැ. අම්මට හරියට තරහා යනවා. හැම තිස්සෙම ඇය කියන්නේ මට පාඩම් කරන්න කියලා. මම කොච්චර පාඩම් කරත් අම්මට නම් කිසිම සතුටක් නැහැ. මට තාම මතකයි එක සිද්ධියක්. ගියවාර විභාගයට මට ගණන්වලට ලකුණු 65ක් තිබුණා. අම්මා නිතරම මේක කියවන්න පටන් ගත්තා. මෙහෙම ලකුණු අරගෙන ඉගෙන ගන්නේ කොහොමද කියලා. අපේ අල්ලපු ගෙදර චතුරංග මල්ලීට හැම වැඩකටම වගේ ලකුණු 80කට වැඩිය තිබුණා. අම්මා නිතරම ඔහු සමඟ මාව සංසන්දනය කරමින් මගේ අඩුපාඩු කිව්වා. මට දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හරියටම තරහ යනවා. නිතරම හිසේ බර ගතියක් තියෙනවා. අම්මා මාව වෛද්‍යවරු කිහිපදෙනෙක් ළඟටම රැගෙන ගියා. මාව පෙන්නුවා. සෑම වෛද්‍යවරයෙක්ම පැවසුවේ මට ලෙඩක් නැහැ කියලා.
ප්‍රශ්නය:-
දිනුකගේ ප්‍රශ්නය ඔබ දකින්නේ කෙසේද...?
වෛද්‍යවරයාගේ නිගමනය:-
වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ දිනුකව කාංසාව හෙවත් ආතතියකට ගොදුරු වී ඇති බවයි.
කාංසාවේ ලක්ෂණ ඕනෑම දරුවෙකු තුළ යම් අවස්ථාවලදී දැකිය හැක. නමුත් දැඩි කාංසාව හෝ ආතතිය නිසා ඉගෙනීමේ කුසලතාවන් හා හැකියාවන් යටපත් වියහැකිය.
දරුවන් 100 දෙනෙකු ගත්කළ පස් දෙනෙකු මේ තත්ත්වයට ගොදුරු වියහැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.
කාංසාවේ ලක්ෂණ විවිධ වයස්වලදී විවිධාකාර ලෙස පෙන්නුම් වෙයි. සමහර ළමුන් අඳුරට සහ කැරපොත්තන්ට බය වන අතර මෙවැනි ලක්ෂණ කාලයක් සමඟ නැතිවී යයි. දෙමව්පියන්ගේ ගැටලු නිසා බොහෝ දරුවන් කාංසාව හෙවත් මෙවැනි ආතතීන්ට ගොදුරු විය හැකිය.
1. දරුවා ගැන නොසැලකිලිමත් වීම. 2. දරුවා කෙරෙහි ඇති ආදරය සහ අවධානය අඩුවීම. 3. වැඩිහිටියන් සහ පවුලේ අන් අය සමඟ පවතින සම්බන්ධතාවය අඩුවීම.
සාමාන්‍යයෙන් දරුවන් තුළ දක්නට ලැබෙන කාංසාවේ ලක්ෂණ වැඩිහිටියන් තුළ පෙන්නුම් කෙරෙන ලක්ෂණවලට වඩා වෙනස් වේ.
උදාහරණ:-
• නින්ද ආශ්‍රිත ගැටලු • කෑම අරුචිය. • තනිව සිටීමට ඇති බිය. • නිතර පවතින බඩේ කැක්කුම. • නිතර ඇතිවන හිසේ කැක්කුම යන ශාරීරික ලක්ෂණවලින් පෙන්නුම් වේ.
දෙමාපිය වැඩිහිටියන් සෑම දරුවකුටම අවශ්‍ය දේ නිසි ලෙස තේරැම් ගැනීමෙන් හා දරුවාට හිතකර සමාජීය පරිසරයක් නිර්මාණය කිරීමෙන් හොඳට ඉගෙනීමට හැකියාවක් ඇති නිර්මාණශීලී අභිමානවත් දරැවකු පිළිබඳ සිහිනය ඔබට සැබෑකර ගතහැක.
පහත සඳහන් ක්‍රියාකාරකම් කෙරෙහි ඔබේ මනස යොමු කරන්න
1. දරුවා ක්‍රියාකාරකම්වලට උත්තේජ කිරීම
• දරුවාගේ මොළය උපදිනකොට සම්පූර්ණ නොවේ.
ඔබ කොතරම් ඔහුව/ ඇයව උත්තේජ කරන්නේ ද යන්න මත ඔහු/ ඇයගේ මොළයේ වර්ධනය තීරණය වේ.
• දරුවා යම් ක්‍රියාවකට අනුගත කිරීමේදී ආත්මවිශ්වාසය සහ බුද්ධිය ගොඩනැංවීමට ඔහුව හෝ ඇයව ඇඟයීමට ලක් කළ යුතුය.
උදාහරණ:-
අපි යම් දරුවෙකු හිරමනයෙන් පොල් බෑයක් ගානවා යයි සිතමු. ඔහු හෝ ඇය තුළ විකසිත වනුයේ ආත්මවිශ්වාසය පමණක් නොව සිතීමේ යාන්ත්‍රනයට අවශ්‍ය ස්නායු පරිපථ දහස් ගණනක් මොළය තුළ නිර්මාණය වීමද සිදුවේ.
2. දරුවා ස්පර්ශ කිරීම
• ස්පර්ශයට භාජනය නොවන දරුවාගේ මොළයේ වර්ධනය ඇන හිටින බව විද්‍යාඥයින්ගේ මතයයි.
• අවම වශයෙන් දවසට 03 වතාවක්වත් සිඹින්න, තුරුළු කරගන්න, අතගාන්න, ළංවෙන්න මෙම ක්‍රියාකාරකම් තුළින් දරුවා තුළ ආදරය සහකම්පනය සහ වේදනය වැනි හැඟීම් ගොඩනැගෙනවාට අමතරව ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ පෞරැෂය ඔහු තුළ නිර්මාණය වේ.
3. දරුවා සමඟ යාළුවකු සේ සිටින්න
බොහෝ දෙමාපියන් දරුවා සමඟ ගොඩනගා ගන්නා සම්බන්ධතාවය ඉතා දුරස්ථය. දෙමාපියන් කල්පනා කරනුයේ යාළුවන් සේ දරුවන් ළංවීම නිසා ඔහු හෝ ඇය නොමඟ යන බවයි. නමුත් මේ කල්පනාව වැරදි සහගතය. සෑම දරැවෙකුගේම අභිමානය සහ සුරක්ෂිතභාවය වර්ධනය කිරීම සඳහා ඔහු හෝ ඇය යහළුවකු සේ දරුවන්ට සමීප විය යුතුය. මින් අදහස් කරනුයේ දරුවාගේ හැඟීම් තේරැම් ගැනීමත්, ඒවා සාධාරණීයකරණය කිරීමත් ඒවා හී ඇති වාසි හා අවාසි දරුවා සමඟ සාකච්ඡා කිරීමත්ය.
උදාහරණ:-
ඔබේ දරුවාගේ යම් හැසිරීහකට ඔබට තරහ ගියායැයි සිතන්න. සමහර විට ඔබ දරුවාට එක් වරක් හෝ දෙවරක් රිදෙන්න ගහන්නත් පුළුවන්. නමුත් හැකි ඉතා ඉක්මනින් ඔබ දරුවාව ළඟට ගෙන ස්පර්ශ කර ඔබට තරහ ගිය බවත් එසේ තරහ යාමට හේතුව ඊළඟට පවසන්න. ඒ ගැන ඉතා සරල සංවාදයක් දරුවා සමඟ ගොඩනගන්න.
4. දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍ය කාලය සපයන්න
කුඩා දරුවෙකු නිතරම ටියුෂන්වලට යොමු කිරීම නිසා සෙල්ලම් කිරීමට ඇති කාලය නැතිවී යා හැකිය.
වොෂින්ටන් විශ්වවිද්‍යාලයේදී කරන ලද සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ හොඳින් සෙල්ලම් කිරීමට කාලය හා අවකාශය ඇති දරුවන්ගේ මොළයේ වර්ධනය අනෙක් දරුවන්ට වඩා වැඩි බවය.
5. සංගීතය හා නාට්‍ය ආදියට දරුවා යොමු කිරීම
සංගීතයට හා නාට්‍ය ආදියට කුඩා කළ සිට දරුවා යොමු කිරීමෙන් ශක්තිමත් සහ මෘදු මනසක් දරුවා තුළ නිර්මාණය වන අතර සිතීමට සහ තීරණ ගැනීමට ඇති කුසලතා ද වර්ධනය වේ.
6. දරුවා කියවීමට හුරු කරන්න
කුඩා දරුවාට ඇහෙන්නසේ කතා කිරීමෙන් හා එම කතා චිත්‍රයට නැංවීමට දරුවා හුරු කිරීමෙන් ඔහුගේ බුද්ධිමය පාරා වළලු තවදුරටත් පුළුල් කරගත හැක. කියවීමට ආසා ඇති කරවන පරිසරයක් දරුවා තුළ ගොඩනැංවීම සඳහා එහි ඇති වැදගත්කම පිළිබිඹු වන නොයෙකුත් කතාන්තර දරුවාට කියාදීමෙන් සිදුකළ හැක. ඔහුට හෝ ඇයට බලකිරීම කිසිවිටෙක කළයුතු නොවේ. එසේ වූ විට එම හැකියාවන්ම දරුවා තුළ නැතිවී යා හැකිය. විනෝදාත්මක ලෙස ඉගෙන ගැනීමට ඔහුගේ මනස යොමු කළ යුතුයි.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක