දුම්පානය කිරීම නිසා වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවනවා. ඔබේ වටිනා ජීවිතය පිළිබඳව මොහොතක් සිතා 2018 නව වසරේ ඔබ දුම්පානය කිරීමෙන් වළකිනවා නම් ඔබට දිනෙන් දින අහිමිව ගිය සුවබර දිවිය නැවතත් අත්පත් කරගන්නට පුළුවන්. දුම්පානය අතහැර දැමූ පසුව පියවරින් පියවර ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි කිහිපයක් මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන එමටයි අද අපි සූදානම් වන්නේ. දුම්පානය අතහැර දමා කෙමෙන් කාලය ගත වන විට පහත ආකාරයට ශරීරය නැවතත් සැකසෙනවා.
විනාඩි 20කට පසුව
දුම්වැටියක් පානය කිරීමෙන් පසුව අසාමාන්‍ය ලෙස හදගැස්ම වෙනස් වනවා. දුම්වැටියක් පානය කර විනාඩි විස්සකින් පසුව වේගයෙන් සිදුවන හදගැස්ම නැවතී සාමාන්‍ය තත්වයට පත්වනවා. එමෙන්ම, ශරීරය පුරා සිදුවන රුධිර සංසරණය නැවතත් වර්ධනය වීමක් සිදුවනවා.
පැය දොළහකට පසුව
දුම්වැටියක කාබන් මොනොක්සයිඩ් වැනි විවිධ විෂ සහිත වායූන් අන්තර්ගත වනවා. මෙම විෂ සහිත වායුව වැඩි වශයෙන් ශරීරය තුළ අන්තර්ගත වීම මගින් රැධිරයට සහ පෙනහළු තුළට ඔක්සිජන් වායුව ගමන්කරවීමේ අවහිරතා ඇති කරනු ලබනවා. ඉතා කෙටි කලක් තුළ දුම්වැටි දෙක තුනක් පානය කිරීමෙන් ශරීරයට එක්වන මෙවන් වායු වර්ග නිසා ශරීරය පුරාවටම ඔක්සිජන් ඌනතාවයක් ඇතිවනවා.
දුම්වැටියක් පානය නොකර පැය දොළහක් ගතවීම මගින් ශරීරය විසින්ම ශරීරය තුළ ඇති අහිතකර කාබන්මොනොක්සයිඩ් වායුව පිරිසිදු කර ගැනීමක් සිදුකරනු ලබනවා. ඒ වගේම, ශරීරයේ ඔක්සිජන් මට්ටමත් නැවත නිසි ලෙස සැකසීමක් සිදුවනවා.
දිනකට පසුව
දුම්පානයෙන් වැළකී දිනක් ගතවන විට හදවත් රෝග ඇතිවීමේ අවදානම කෙමෙන් පහව යනවා. දුම්පානය මගින් ශරීරයේ හිතකර වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසා කිරීටක හදවත් රෝග (මෙය කිරීටක ධමනි තුල “plaque” යන නමින් හඳුන්වන ඉටි සහිත ද්‍රාවණයක් තැන්පත්වීම නිසා ඇතිවන ධමනි සිහින් වීමේ රෝගී තත්වයක්) ඇතිවීමේ අවදානම ඉහළ යනවා.
එමෙන්ම, දුම්පානය කිරීම නිසා රුධිර පීඩනය පවා ඉහළ ගොස් රුධිරය කැටි වීම සහ ආඝාතය වැනි තත්වයන් පවා ඇතිවන බව ඔබ දැනටමත් දැනුවත් ඇති. දුම්පානය අතහැර දමා දිනක් ගතවන විට අධි රැධිර පීඩනය ඇතුළුව හදවත් රෝග ඇතිවීමේ අවදානම පහව යනවා. මෙම කෙටි කාලය ඇතුළත ශරීරය තුළ ඔක්සිජන් මට්ටම නැවතත් නිසි ලෙස සැකසී ව්‍යායාම සහ වෙනත් විවිධ ක්‍රියාකාරී ශාරීරික ක්‍රියාකාරකම් නිසි ලෙස සිදු කිරීමට නැවතත් හැකියාව ලැබෙනවා.
දින දෙකකට පසුව
දුම්පානය කිරීම නිසා ස්නායු අග්‍ර හානියට පත්වීම නිසා රසය සහ ගන්ධය නිසි ලෙස දැනීමේ හැකියාව අහිමි වනවා. දුම්පානය නවතා දමා දින දෙකක කාලයක් ගතවීමෙන් පසුව ස්නායු නැවත සකස් වීමක් සිදුවී ගන්ධයන් දැනීම සහ විවිධ රසයන් දැනීමේ හැකියාව නැවත වර්ධනය වනවා.
දින තුනකට පසුව
දුම්පානය අතහැර දින තුනක් ගත වනවිට ශරීරයේ තැන්පත් වී ඇති නිකොටින් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ඉවත්වී යනවා. නිකොටින් ශරීරයෙන් ඉවත්වීම සෞඛ්‍ය ආරක්‍ෂිත වුවත් ශරීරයෙන් නිකොටින් ඉවත්වීමේ දී එය ශරීරයට දැඩි අපහසුකාරී තත්වයක් ඇති කරනවා. උදාහරණයක් ලෙස මනෝභාවය වෙනස්වීම, ශාරීරික අපහසුව සහ හිසරදය වැනි විවිධ පීඩාකාරී තත්වයන් ඇතිවී නිකොටින් සඳහා ඇල්මක් ඇති වනවා. (දුම්පානයෙන් වැළකී සිටීමට නම් මෙය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි.)
මසකට පසුව
දුම්පානය අත්හැර දමා මසක් ගත වනවිට එම පුද්ගලයාගේ පෙනහළු නැවතත් වර්ධනය වීම ආරම්භ වනවා. පෙනහළු නැවතත් සුවපත් වීම සහ පෙනහළු වල ධාරිතාව වර්ධනය වීම නිසා පෙර දුම්පානය කළ අයෙකුට ගැඹුරු හුස්මක් ලබාගැනීමේ හැකියාව වර්ධනය වීම සහ කැස්ස සුවපත් වීම සිදුවනවා.
මාසයක් සහ මාස තුනක කාලයකින් පසුව
දුම්පානය අත්හැර දමා මෙවන් කලක් ගත වනවිට වැඩිදුරටත් රුධිර සංසරණ පද්ධතිය වර්ධනය වීම සිදුවනවා.
මාස නවයකට පසුව
දුම්පානය අත්හැර දමා මාස නවයක් ගතවන විට පෙනහළු සම්පූර්ණ වශයෙන්ම සුවපත්වී පෙනහළුවල පැහැදිලි වර්ධනයක් ඇති වනවා. එමෙන්ම, පෙනහළු අභ්‍යන්තරයේ අන්තර්ගත වූ දුම්පානය කිරීම නිසා හානියට පත්වූ “cilia” ලෙස හඳුන්වන රෝම වැනි ව්‍යූහය නැවත සකස්වීමක් ඇතිවනවා. මෙම ව්‍යූහය විසින් පෙනහළු තුළට ඇතුළු වන විවිධ රෝගකාරක අවහිර කර පෙනහළු ආසාදනය වීමෙන් ආරක්‍ෂා කරනු ලබනවා.
මෙම කාලය අතරතුළ “cilia” ව්‍යූහය නැවත වර්ධනය වීම නිසා දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකුට නිතර ඇතිවූ පෙනහළු ආසාදනයන් නැවතත් ඇති නොවීමක් අත් විඳින්නට පුළුවන්.
වසරකට පසුව
දුම්පානය අතහැර දමා වසරක් ගතවීමෙන් පසුව හදවත් රෝග ඇතිවීමේ අවදානම හරි අඩකින් පහව යනවා.
වසර 05 කට පසුව
ඉහත සඳහන් කල පරිදි දුම්වැටියක් තුළ අන්තර්ගත වන විවිධ විෂ සහිත සංඝටකයන් නිසා ධමනි සහ රුධිර නාලිකා සිහින් වීම ආරම්භවී රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාවත් ඉහළ යනවා. දුම්පානය අතහැරදමා වසර පහක් ගතවීමෙන් පසුව ශරීරයේ ධමනි සහ රුධිර නාලිකා නැවත සකස්වීම ආරම්භ වනවා. මේ නිසා රුධිරය කැටි ගැසීමේ අවදානම අඩුවී ආඝාතය වැනි දරුණු ආබාධ ඇතිවීමේ අවදානමත් පහව යනවා.
වසර 10 කට පසුව
දුම්පානය කරන පුද්ගලයෙකු සමඟ සසඳන විට වසර දහයක් දුම්පානයෙන් වැළකී සිටි පුද්ගලයෙකුට පෙනහළු පිළිකා ඇතිවී මියයෑමේ අවදානම හරි අඩකින් පහව යනවා. එමෙන්ම, මුඛ පිළිකා, උගුරේ සෑදෙන පිළිකා, සහ අග්න්‍යාශයේ ඇති වන පිළිකා අවදානම පවා පහව යනවා.
වසර 15 කට පසුව
දුම්පානය අතහැර දමා වසර පහළොවක් ගතවන විට දුම්පානයෙන් වැලකී සිටි අයෙකුට ඇතිවන කිරීටක ධමනි ආබාධ සහ අග්න්‍යාශයේ පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය නොකරන අයෙකුට සමානව අඩුවී යනවා.
වසර 20 කට පසුව
දුම්පානය අතහැර දමා වසර විස්සක් ගතවීමෙන් පසුව පෙනහළු රෝග සහ පිළිකාව ඇතිවී සිදුවන ජීවිත හානි අවදානම කිසි දිනක දුම්පානය සිදු නොකළ පුද්ගලයෙකුට සමානව අඩුවී යනවා.
දුම්පානය අතිශය සෞඛ්‍ය අනාරක්ෂිත ක්‍රියාවක් වුවත් ඔබ දුම්පානය අතහැර දමනවා නම් ඔබට නැතිවී ගිය සෞඛ්‍යය තත්වය නැවතත් වර්ධනය කර ගන්නට පුළුවන්. ඔබත් දුම්පානය කරන අයෙක් නම් එම නරක පුරැද්ද තුරන් කර ගැනීමට මේ අවුරුද්දේ සිට කැප වෙන්න.
Web MD