ඇතැම් දරුවන්ට විභාගය නම් කඩයිම මානසික පීඩනයක් ගෙනදී ඇති අතර තවත් පිරිසකට මත්පැන් භාවිතය, පෙම් සබඳතා බිඳ වැටීම, අයහපත් පුරුදු හා පවුල් ප‍්‍රශ්න, දරිද්‍රතාවය ආදී බොහෝ දේ ගැටලු බවට පත්වී ඇත. මෙම ගැටලු නිසා පවුල් සංස්ථා දෙදරා ගොස් ඇති අතර ඔවුන් ජීවිතය කළකිරුණු ඉච්ඡාභංගත්වයට පත් චරිත බවට පත් වී ඇත. ඒ නිසාම එක් එක් මානසික අවපීඩන තත්ත්වයන්ට හේතු වූ කරුණු පදනම් කරගත් වෘත්තාන්ත ඊට බලපා ඇති වෛද්‍ය විද්‍යාත්මක සාධකත් සමඟ මෙසේ පෙළගස්වමි.
සුමිත් නයනාව විවාහ කරගත්තේ වැඩිහිටි සියලුදෙනාගේ ආශිර්වාදය මැද්දේය. නව යුවළ එකිනෙකාට පණ සේ ආදරය කළහ. ඒ ආදරය මල්ඵල ගන්වමින් පුංචි දුවකුත් පුංචි පුතකුත් මේ පවුලට එකතු වුණා. මේ පුංචි පවුලේ ආදරය ගලාගෙන ගියේ වසර කීපයක් පමණයි. දවසින් දවස නිවෙසේ ප‍්‍රශ්න පැන නැගුණා. සුමිත්ව නයනාට රුස්සන්නේ නැතිවීමත් සුමිත් නයනාව ප‍්‍රතික්ෂේප කිරීමත් නිතරම දක්නට ලැබුණා.
මේ ආදරයෙන් හිටි කුරැළු කූඩුවට එක පාරටම සිද්ධවෙන්න යන්නේ කුමක්ද කියලා මහපොළව ගැටලන්න තරම් කල්පනා කළේ ආච්චි අම්මා. දුවේ මොකද උඹලට වෙලා තියෙන්නේ. උඹලගෙ ඔය රණ්ඩු හින්දා විඳවන්නේ මේ අහිංසක පැටව් දෙන්නා. ඒක උඹලට තේරෙන්නේ නැද්ද? ආච්චි අම්මා නයනාට කිවූ වාර අනන්තයි. ඒ හැම අවස්ථාවකම ඇගේ පිළිතුර වූයේ ඕවා අම්මාට තේරෙන්නෑ. අපේ පෞද්ගලික ප‍්‍රශ්න... මේක මං ලබා උපන් හැටි... මගේ කරුමයක් මේ ගෙවන්නේ.... ඇය කීවා. දවසින් දවසම නිවසේ අඩදබර වැඩි වීමත් සමගම සුමිත් මත්පැන් පානයටත් පුරුදු වුණා. ටික ටික දෙදරා යන පවුල ගොඩගන්නේ කොහොමද කියලා හිත හිතා හිටපු ආච්චි අම්මාට මනෝ වෛද්‍යවරයකු හමු වන්නේ ඒ ආකාරයටය. ආච්චි අම්මාගේ ගැටලුවට සවන් යොමු කළ වෛද්‍යතුමා ඒ අඹුසැමි යුවළ සමඟ සාකච්ඡා කිරීමට ඉඩප‍්‍රස්ථා සලසා ගත්තා. වෛද්‍යවරයා මුලින් කතාබහ ඇරඹුවේ සුමිත් සමඟය. ඔහු ඔහුගේ කතාව දිග ඇරියේ මෙසේයි.
මට අවුරුදු හතළිහයි. අපි විවාහ අවුරුදු අටක් වෙනවා. මම නයනාට ගොඩක් ආදරය කළා. අපි වෙඩින් එක ලොකු හෝටලයක හැමෝටම කියලා ලොකුවට ගත්තා. අපි ගොඩක් ආදරයෙන් හිටියේ. අපිට දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. දැන් මාස හයක වගේ කාලයක සිට නයනාගේ ලොකු වෙනස් වීමක් දැනෙනවා. ඒක මගේ හිතට ලොකු පීඩනයක්. ඒ නිසා අපි අතර නිතර රණ්ඩු ඇතිවෙනවා. මට ඒ පීඩනය දරාගන්න අමාරු නිසයි මම බීමට පුරුදු වුණෙත්.
සුමිත් ඔහුගේ කතාව කියවාගෙන යද්දී ඊළඟට වෛද්‍යතුමා යොමුකර ඇති ප‍්‍රශ්නය වූයේ, නයනාගේ වෙනස කුමක්ද යන්නයි. එහිදී ඔහු පවසා තිබුණේ මෙවැනි දෙයක්. අපි විවාහ වෙලා ගොඩක් සතුටින් හිටියා. අපේ ලිංගික ජීවිතයේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. ඒත් දැන් ඇය ආසාවෙන් මා ළඟට ආවත් එකපාරට කෑගහගෙන මාව ඇඳෙන් තල්ලු කර දමනවා. මා දෙස බියෙන් බලාගෙන වෙව්ලනවා. මේක මගේ හිතට මහ වදයක්. එයා මාව ප‍්‍රතික්ෂේප කරන්නේ එයාට වෙන සම්බන්ධයක් තියෙන නිසා ද කියලා මට හිතුණා. ඒ නිසා මම ඒ ගැන හොයා බැලුවා. එයාගේ ෆෝන් එකත් අරන් බැලුවා. ඒත් ඒ වගේ සැක කටයුතු කිසිම දෙයක් නෑ. මට මේක හරි ගැටලුවක් ඩොක්ටර්. ඔහුගේ ගැටලුවට සවන් යොමුකළ වෛද්‍යතුමා ඊළඟට යොමු වූයේ නයනා වෙතට. ඇගෙන් තොරතුරු විමසූ එතුමාට දැනගැනීමට ලැබී ඇත්තේ මෙවැනි පුවතක්.
මම මහත්තයට ආදරෙයි. මට එයාගෙන් වෙන් වෙන්න අවශ්‍ය නැහැ. මට වෙන සම්බඳතාවයකුත් නෑ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මට ඕන දරුවෝ දෙන්නත් හදාගෙන හොඳින් ඉන්න. යහපත් ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන ඇය සිය ස්වාමියා ප‍්‍රතික්ෂේප කිරීම ගැටලුවක්. ඒ පිළිබඳ වෛද්‍යතුමා විමසූ විට ඇය ඊට හේතු දක්වා තිබුණේ මෙසේයි.
මගේ ජීවිතයේ එක රහසක් තියෙනවා. මගේ තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. මගේ ගෙදර නෑදෑ වෙන මාමා කෙනෙක් නැවතී හිටියා. දවසක් අම්මයි තාත්තයි නැති වෙලාවේ මාමා මා ළඟට ඇවිත් මට කරදර කරන්න හැදුවා. මම මාමාට මගේ ගෞරවය නැති කරන්න දුන්නේ නැහැ. එදා ඒ සිදුවීම මට ලොකු කම්පනයක් වුවත් කාලයත් එක්ක එය මට අමතක වෙලා ගියා. ඒත් දැන් මාස කීපයකදී ඉඳලා මගේ මහත්තයා මම ළඟට ළංවෙද්දී මට පේන්නේ මත්තයාව නෙවෙයි. මගේ මාමව. මම බයවෙලා කෑගහලා එයාව තල්ලු කරන්නේ ඒ නිසා. ඒ වෙලාවේ මට මොනවා වෙනවද කියලා මට හිතාගන්නවත් බෑ. මේ සිදුවීම මට මහත්තයාට කියන්න බෑ. මට මේක නැති කරගන්න ඕන. මාව සනීප කරලා දෙන්න ඩොක්ටර්.* ඇගේ පුංචි කල සිදු වූ ඒ අනුවේදනීය සිදුවීම ඇගේ පවුල් ජීවිතයට කළු එළියක් එල්ල කළේ ඒ ආකාරයටයි.
මේ රෝගයට ක්ලමතය කියලා කියනවා. මෙය මානසික රෝගයක්. මීට හේතු හතරක් තියෙනවා. එකක් තමයි දරුණු කෝමා එකකට මනස ඇතුළුවෙන්න ඕන. මේක අනතුරක්, බිය ගැන්වීමක් හෝ ලිංගික අපයෝජනයක් විය හැකියි. ඒ වගේ දැඩි පීඩනයක් මනසට ගිහිල්ලා තිබුණොත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දෙවනි කරුණ වන්නේ ෆ්ලෑෂ් බෑක්. ඒ කියන්නේ යම් දවසක සිදුවුන සිදුවීම චිත‍්‍රපටයක සේ ඒ ආකාරයෙන්ම මැවී පෙනීම. සමහර විට එය මායාවක් විදියටත් කෙනෙක්ට පෙනෙන්න පුළුවන්. තුන්වන කාරණය වන්නේ මේ තත්ත්ව එකපාරටම වෙනස් වීම. ඒ කියන්නේ ශරීරයේ තියෙන හෝමෝන වෙනසක්, රසායනික වෙනසක් එකපාරටම සිදුවීම. මෙහි ලක්ෂණ තමයි වේගයෙන් දාඩිය දැමීම, කකුල් ගැහීම, තරහා යාම, ගැස්ම. මේවා අවදිවීමේ ලක්ෂණ ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ස්නායු පද්ධතිය අසාමාන්‍ය ලෙස අවදිවෙනවා.
සමහරුන් මේ වගේ සිදුවීම් නිසා ඇතිවන භීතිය හේතුකොට ගෙන පලා යනවා. මෙය තමයි ක්ලමතය කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම යුද්ධයට ගොදුරැ වෙච්ච අය, බෝම්බ දැක්ක අය, අපයෝජනවලට ලක් වූ අය මේ තත්ත්වයට පත්වෙන්න පුළුවන්. මේ වගේ මානසික රෝගී තත්ත්වයන්ට පත්වූවන්ට පූජා තියලා, ශාන්තිකර්ම කරලා හරියන්නේ නෑ. මනෝ වෛද්‍ය ඒකකවලට යොමුකරලා ප‍්‍රතිකාරෙ කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහිදී පළමුවෙන්ම ඖෂධ ප‍්‍රතිකාර කිරීමත් ඊළඟට උපදේශනයට යොමු වීමත් කළ යුතුයි.
උපදේශනය තුළින් රෝගියාගේ මනසෙහි ඇති වී තිබෙන ආතතික කම්පනය නැති කිරීම ක‍්‍රමානුකූලව සිදු කළ යුතුයි. එහිදී රෝගියා සමඟ කතා කිරීම සහ ඔහුගේ සිතෙහි බර අඩු වීම සඳහා ඇහුම්කන් දීම, ඊළඟට ශරීර සැහැල්ලු කරවීමේ ව්‍යායාම කරවීම වගේ දේවල් තුළින් ඔවුන් ක‍්‍රමානුකූලව සුවපත් කිරීම සිදුකරනවා. මාස පහ හයක් යනවිට ඔහු හෝ ඇය සිතන විදිය ක‍්‍රියාකරන විදිය යහපත් අතට හරවා ගන්න පුළුවන්. මෙය නිවැරදිව ක‍්‍රමානුකූලව විශ්වාසයෙන් කිරීම තුළින් සම්පූර්ණ සුවයක් ලබාගන්න පුළුවන්.
විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයන් නීතියෙන් ශාන්තිකර්ම මගින් මෝහනයෙන් සිදුකළ නොහැකියි. හේතුව, සංවර්ධනය කළ යුත්තේ මනස. එයට ප‍්‍රතිකාර කළ යුත්තේ මනසටය. මනෝ වෛද්‍ය කුමාරනායක මහතා එසේ ෆ්ලෑෂ් බෑක් නම් වූ රෝගී තත්ත්වය සඳහා රෝගයේ ලක්ෂණත් ප‍්‍රතිකාර කළ යුතු ආකාරයත් ගෙනහැර දැක්වූ අතර ඔබට දැනුවත් වන්නට බොහෝ දේ ඇත. මන්දයත්, සමාජය හමුවේ බොහෝ දේ සඟවාගෙන සිතින් පීඩා විඳින බොහෝ දෙනා මිහිපිට සිටින බව අපි දනිමු. දවසින් දවස විඳිවමින් සිට මානසික රෝගියෙකු වනවාට වඩා ඔබේ මානසික ගැටලු නිරාකරණය කරගෙන මනසට සුවයක් ලබාගැනීම තුළ ජීවිත ප‍්‍රීතිදායක වනු ඇත.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක